මළල ක්‍රීඩාවෙන් මව්බිමට රන් පදක්කම් දිනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත මුදල් ත්‍යාග

ජපානයේ දී සහ ඩුබායි හිදී පැවති මලල ක්‍රිඩා තරඟාවලීන් මඟින් රන් පදක්කම් දිනා ගත් කාන්තා සුළු නිලධාරී ගයන්තිකා අබේරත්න සහ නාවික හමුදා පැරා ක්‍රීඩක බලනැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ, ඔවුන් හිමි කරගත් රන් පදක්කම් හා කුසලාන අද දින (2023 ජුනි 20) නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත ඉදිරිපත් කරන ලද අතර, මව්බිමට අභිමානයක් ගෙනදීමට සිදුකළ සුවිශේෂී දායකත්වය අගයමින් එහිදී නාවික හමුදාධිපති විසින් ඔවුන් වෙත වටිනා මුදල් ත්‍යාග පිරිනැමීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

2023 මැයි මස 03 වන දින සිට 21 වන දින දක්වා ජපානයේ පැවති 39 වන ශිසෝකා සහ 10 වන කිනාමි මචිතකා අනුස්මරණ මලල ක්‍රීඩා තරඟයේ (39th Shizuoka Meet & 10th Kinami Machitaka Memorial Athletics Meet – 2023) මිටර් 800 කාන්තා ධාවන ඉසව්වෙන් කාන්තා සුළු නිලධාරී ගයන්තිකා අබේරත්න විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබමින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත් අතර, 2023 පෙබරවාරි මස 26 වන දින සිට මාර්තු මස 01 වන දින දක්වා ඩුබායි හි පැවති ‘Dubai Grand Prix 2023 - 14th Fazza’ ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා තරඟාවලියේදී, A 47 කාණ්ඩය යටතේ, මීටර් 400 පිරිමි ධාවන ඉසව්ව සඳහා සහභාගී වූ නාවික හමුදා පැරා ක්‍රීඩක බලනැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව, ජාත්‍යන්තර තරඟාවලි මඟින් මව්බිමට රන් පදක්කම් දිනාදීමට සිදුකළ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් ඔවුන් වෙත සුභපැතු නාවික හමුදාධිපති, නාවික හමුදාවේ කීර්තිනාමය ඉහළ නංවමින් මව්බිමට මහත් අභිමානයක් ගෙන දීමට සිදුකළ එම සුවිශේෂී දායකත්වය අගයමින් ඔවුන් තවදුරටත් දිරිගැන්වීම උදෙසා මෙලෙස වටිනා මුදල් ත්‍යාග පිරිනැමීම සිදු කෙරිණි.