අන්තර් විධාන මේස පන්දු තරඟාවලියේ සමස්ථ ශූරතාවය බටහිර නාවික විධානය දිනා ගනියි

අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය 2023 ජුනි මස 20 වන දින සිට 24 වන දින දක්වා ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවති අතර, එහි පිරිමි හා කාන්තා සමස්ථ ශූරතාවය බටහිර නාවික විධානය විසින්ද, පිරිමි සහ කාන්තා සමස්ථ අනුශූරතාවය උතුරු නාවික විධානය විසින් ද හිමිකර ගැනීමට සමත් විය.

මෙම තරඟාවලිය සඳහා සියලුම නාවික විධානයන් නියෝජනය කරමින් පිරිමි කණ්ඩායම් 09ක් සහ කාන්තා කණ්ඩායම් 06 ක් සහභාගී වූ අතර, අවසන් දින ප්‍රධාන ආරාධිතයා වශයෙන් බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා සහභාගී විය. තරඟාවලියේ විවෘත කේවල කාන්තා ශූරතාවය නායක කාන්තා ශාරීරික අභ්‍යාසක එච්පීඑම් හපුගස්පිටිය විසින්ද, විවෘත කේවල පිරිමි ශූරතාවය නායක ශාරීරික අභ්‍යාසක එල්ජීඑස්එම් පෙරේරා විසින්ද, වසරේ නැඟී එන ක්‍රීඩකයාට හිමි සම්මානය සාමාන්‍ය නැවි එස්ජී විජේසූරිය විසින් සහ වසරේ නැඟී එන ක්‍රීඩිකාවට හිමි සම්මානය කාන්තා වෛද්‍ය සහයක ඒඑම්එස්එච්ඩී අතපත්තු විසින් දිනා ගැනීමට සමත් විය.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ක්‍රීඩා කොමදෝරු රොෂාන් අතුකෝරල ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ නාවික හමුදා විධානයන් නියෝජනය කරමින් නිලධාරීන් හා නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.