12 වන ආරක්ෂක සේවා හොකී තරඟාවලියේ කාන්තා ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි

2023 ජුනි මස 23 වන දින ඒකල, ශ්‍රි ලංකා ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති 12 වන ආරක්ෂක සේවා හොකී තරඟාවලිය 2022/ 2023 හි කාන්තා ශුරතාවය නාවික හමුදා කාන්තා හොකී කණ්ඩායම දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව, ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම සමඟ පැවති අවසන් මහා තරඟයෙදී දක්ෂ ලෙස ක්‍රීඩා කළ නාවික හමුදා කාන්තා කණ්ඩායම ලකුණු 4-3 ක් වශයෙන් තියුණු ජයක් ලබමින් මෙලෙස තරඟාවලියේ කාන්තා ශූරතාවය හිමිකර ගැනීමට සමත් වූ අතර, අවසන් තරඟයේදී නායක කාන්තා නැවි බීඑන්එම් ජයනෙත්ති, නායක කාන්තා නැවි ජීජීජී දමයන්ති, බල කාන්තා නැවි කේඑල්ඒඑස්සී කුමාරි සහ සාමාන්‍ය කාන්තා නැවි කේවී කළුආරච්චි යන ක්‍රීඩිකාවන් ගෝල 1 බැගින් ලබාගනිමින් නාවික හමුදා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් දායක විය.

එමෙන්ම, මෙම ජයග්‍රහණයත් සමඟ, නාවික හමුදා කාන්තා හොකී කණ්ඩායම ආරක්ෂක සේවා හොකී ශූරතාවය අඛණ්ඩව ලබාගත් සිව්වන අවස්ථාව ලෙස ද සනිටුහන් විය.

තවද, අවසන් මහා තරඟයේ දක්‍ෂතම ක්‍රීඩිකාව වශයෙන් බල කාන්තා නාවික කේඑල්ඒඑස්සී කුමාරී සම්මාන දිනාගැනීමට සමත් වූ අතර, මෙම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වී සිටියහ.