අන්තර් විධාන පාපැදි තරඟය - 2023 ශ්‍රි ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයේදී සාර්ථකව අවසන් වෙයි

2023 අගෝස්තු මස 30 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්නි ආයතනයේ පැවති 2023 අන්තර් විධාන පාපැදි තරඟයේ පිරිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානයත්, කාන්තා ශූරතාවය පුහුණු විධානයත් හිමි කර ගැනීමට සමත් වූ අතර, මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස වයඹ නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු තුෂාර උඩුගම සහභාගී විය.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්නි ආයතනයෙන් ආරම්භ වී කිලෝමීටර් 40 ක් කුරුණෑගල දෙසට ගොස් නැවත ආරම්භ වූ ස්ථානයෙන් අවසන් වූ මෙම තරඟය සඳහා ක්‍රීඩකයින් පනස් එක් දෙනෙකු (51)) සහ ක්‍රීඩිකාවන් දහතුන් දෙනෙකු (13) සහභාගී වූහ. අන්තර් විධාන පිරිමි පාපැදි තරඟයේ ප්‍රථම ස්ථානය නැගෙනහිර නාවික විධානය නියෝජනය කල නායක නැවි පීඑල්එස්ඩී කුමාර විසින්ද, දෙවන ස්ථානය නැගෙනහිර නාවික විධානය නියෝජනය කල නායක නැවි (කිමිදුම්) ජේඩීපීපී ජයසිංහ විසින්ද, තෙවන ස්ථානය නැගෙනහිර නාවික විධානය නියෝජනය කල නායක ඉංජිනේරු කාර්මික ඩබ්ඩීඑම් කුමාර විසින්ද හිමි කර ගනිමින් මෙවර අන්තර් විධාන පාපැදි පිරිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානය විසින් දිනා ගැනීමට සමත් විය.

එමෙන්ම, අන්තර් විධාන කාන්තා පාපැදි තරඟයේ ප්‍රථම ස්ථානය නැගෙනහිර නාවික විධානය නියෝජනය කල බල කාන්තා නැවි (ශාරීරික අභ්‍යාසක) ජීඩීඩී සකුන්තලා විසින්ද, දෙවන ස්ථානය දකුණු නාවික විධානය නියෝජනය කල සාමාන්‍ය කාන්තා නැවි (ශාරීරික අභ්‍යාසක) ඊඑම්ඒජීඑල්බී එදිරිසිංහ විසින්ද, තෙවන ස්ථානය පුහුණු විධානය නියෝජනය කල උප ලුතිනන් ඒඑස්එස් විජේසිරි විසින්ද හිමි කර ගත් අතර, සමස්ථ අන්තර් විධාන කාන්තා පාපැදි ශූරතාවය පුහුණු විධානය විසින් හිමිකර ගැනීමට සමත් විය.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා පාපැදි පාපැදි සංචිතයේ සභාපති කොමදෝරු අනුරුද්ධ කරුණාතිලක, ඇතුළු නාවික හමුදා පාපැදි සංචිතයේ සහ නාවික විධානයන් නියෝජනය කරමින් නිලධාරීන් හා නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.