2023 අන්තර් විධාන වොලිබෝල් තරඟාවලියේ පිරිමි ශූරතාවය උතුරු මැද නාවික විධානය සහ කාන්තා ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනා ගනියි

2023 සැප්තැම්බර් මස 17 වන දින සිට 21 වන දින දක්වා ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවති, 2023 අන්තර් විධාන වොලිබෝල් තරඟාවලිය 2023 සැප්තැම්බර් මස 21 වන දින සාර්ථකව නිමාවට පත් වූ අතර, තරඟාවලියේ පිරිමි ශූරතාවය උතුරු මැද නාවික විධානය විසින් සහ එහි කාන්තා ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනා ගැනීමට සමත් විය.

මෙම තරඟාවලිය සඳහා සියළුම නාවික විධානයන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ අතර, පිරිමි අවසන් මහ තරඟයේදී උතුරු නාවික විධානය තරඟ වට 3 - 1 ක් ලෙස පරාජය කරමින්, උතුරු මැද නාවික විධානය එහි ශූරතාවය හිමි කර ගැනීමට සමත් විය. එහිදී, බල නැවි එල්එම්පීඑල් ජයලත් දක්ෂතම ලිබරෝ ක්‍රීඩකයා වශයෙන්ද, නායක ශාරිරික අභ්‍යාසක ඩීඩබ්යූඑස් ලක්ෂාන්ත දක්ෂතම පන්දු ඔසවන්නා වශයෙන්ද, ලුතිනන් එච්ඒඑම් සිල්වා දක්ෂතම ප්‍රහාරකයා වශයෙන් සහ නායක නැවි එම්ඩීඩීඑස් ජයරත්න දක්ෂතම ක්‍රීඩකයා වශයෙන්ද කුසලාන හිමි කර ගැනීමට සමත් විය.

එමෙන්ම, කාන්තා අවසන් මහ තරඟයේදී බටහිර නාවික විධාන කණ්ඩායම විසින් වයඹ නාවික විධාන කණ්ඩායම තරඟ වට 3 - 0 ක් ලෙස පරාජය කරමින්, එහි ශූරතාවය හිමි කර ගැනීමට සමත් විය. එහිදී, නායක කාන්තා ශාරිරික අභ්‍යාසක ජීජීඑස් දමයන්ති දක්ෂතම පන්දු ලබා ගන්නිය වශයෙන් සහ නායක කාන්තා නැවි එච්එම්එස්එම් හේරත් දක්ෂතම ක්‍රීඩිකාව වශයෙන්ද කුසලාන හිමි කර ගැනීමට සමත් විය.

තවද, බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු බුද්ධික රූපසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ක්‍රීඩා කොමදෝරු රොෂාන් අතුකෝරළ, ශ්‍රී ලංකා නාවික හමුදා වොලිබෝල් සංචිතයේ සභාපති කපිතාන් ආර්ජේ වල්ගම්පාය සහ එම සංචිතයේ ලේකම් කොමාණ්ඩර් කේජීසීඑම් කාරියවසම් ඇතුළු නිලධාරීන් හා නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.