12 වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී සාර්ථකව නිමාවට පත් වෙයි

දොළොස්වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල 2023 නොවැම්බර් මස 24 වන දින කොළඹ, සුගතදාස ක්‍රීඩාංගණයේදී අති උත්කර්ෂවත් අයුරින් නිමාවට පත් වූ අතර, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බංඩාර ‍තෙන්නකෝන් මැතිතුමා ‍ගේ ප්‍රධානත්වයෙන් පැවති එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

ත්‍රිවිධ හමුදාව නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ජයග්‍රහණ මව්බිමට ගෙන ඒමට සුවිශේෂී දායකත්වයක් දක්වයි. ඒ අනුව, මෙවර දොළොස්වන ආරක්ෂක සේවා ක්‍රීඩා තරඟාවලිය (2022/ 2023) තුළදී සුවිශේෂී දක්ෂතා දැක්වූ ත්‍රිවිධ හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඉදිරියේදී ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ තරඟ නියෝජනය කරමින් මව්බිමට ක්‍රීඩා ජයග්‍රහණ ගෙන ඒමට අවස්ථාව උදාවනු ඇත.

ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3500 ක පමණ පිරිසක් සහභාගී වූ මෙවර 12 වන ආරක්ෂක සේවා ක්‍රීඩා තරඟාවලියේ ජයග්‍රහණ රැසක් හිමිකර ගනිමින් රන් පදක්කම් 69 ක්, රිදී පදක්කම් 86 ක් සහ ලෝකඩ පදක්කම් 69 ක් ශ්‍රී ලංකා නාවික හමුදාව දිනා ගැනීමට සමත් විය. ඒ අනුව, දුණු විදීම, අත් පන්දු, මේස පන්දු, මල්ලව පොර, බර ඉසිලීම, වූශු සහ බේස් බොල් පිරිමි ශූරතාවයන් ද, පාපැදි, කබඩි, බර ඉසිලීම, දැල් පන්දු, පාපන්දු, පිහිණුම්, හොකී සහ වූශු කාන්තා ශූරතාවයන් ද ශ්‍රී ලංකා නාවික හමුදාව දිනා ගැනීමට සමත් විය.

තවද, කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී සාර්ථකව නිමාවට පත් වූ 12 වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විසින් ඉදිරිපත් කල පැරෂූට් සන්දර්ශණයක් සහ විචිත්‍රවත් නර්ථනාංගයන්ගෙන් වර්ණවත් වූ අතර, එම අවස්ථාව සඳහා ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයන් සහ ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී වී සිටියහ.