අන්තර් විධාන පිහිනුම් හා දිය පන්දු තරඟාවලිය ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී සාර්ථකව අවසන් වෙයි

අන්තර් විධාන පිහිනුම් හා දිය පන්දු තරඟාවලිය 2024 නොවැම්බර් මස 05 වන දින සිට 08 වන දින දක්වා ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පිහිණුම් තඨාකයේදී පැවති අතර, පිහිනුම් පිරිමි ශූරතාවය දියත් විධානයත්, පිහිනුම් කාන්තා ශූරතාවය නැගෙනහිර නාවික විධානයත්, දිය පන්දු පිරිමි සහ කාන්තා ශූරතාවයන් නැගෙනහිර නාවික විධානය විසින් හිමි කර ගැනීමට සමත්විය.

නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ මෙම තරඟාවලියේදී, පිහිනුම් පිරිමි ශූරතාවය දියත් විධානය විසින්ද, කාන්තා ශූරතාවය නැගෙනහිර නාවික විධානය විසින්ද දිනා ගැනීමට සමත් වූ අතර, එහි අනුශූරතාවයන් පුහුණු විධානය හා උතුරු නාවික විධානය වෙත හිමි විය.

දක්ෂතම පිහිණුම් ක්‍රීඩකයාට හිමි කුසලානය දියත් විධානයේ උප ලුතිනන් කේඑන්ටී පෙරේරා විසින්ද, දක්ෂතම පිහිණුම් ක්‍රීඩිකාවට හිමි කුසලානය නැගෙනහිර නාවික විධානයේ ආධුනික කාන්තා නැවි ආර්ඩීඑස් රාජපක්‍ෂ විසින්ද, තරඟාවලියේ ප්‍රවීන දක්ෂතම පිහිණුම් ක්‍රීඩකයා ලෙස බටහිර නාවික විධානයේ කපිතාන් ආර්එම්ටීඑස් රණසිංහ විසින්ද දිනාගන්නා ලදී.

එමෙන්ම, දිය පන්දු තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස දියත් විධානයේ උප ලුතිනන් එම්ඩීඑන්එල් ඉලුක්පිටිය විසින්ද, එහි දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නැගෙනහිර නාවික විධානයේ ආධුනික කාන්තා නැවි ඩබ්පීපීඩී දිසානායක විසින්ද හිමි කර ගැනීමට සමත් විය. ඒ අනුව, දිය පන්දු තරඟාවලියේ පිරිමි හා කාන්තා ශුරතාවයන් නැගෙනහිර නාවික විධානය විසින්ද, එහි පිරිමි අනුශූරතාවය පුහුණු විධානය විසින්ද කාන්තා අනුශූරතාවය දකුණු නාවික විධානය විසින්ද හිමි කර ගැනීමට සමත් විය.

මෙම තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පිහිණුම් තඨාකය පරිශ්‍රයේදී, ආඥාපති බටහිර නාවික පෙදෙස රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු අතර, එම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය කොමදෝරු සංජීව පෙරේරා, අධ්‍යක්‍ෂ ක්‍රීඩා කොමදෝරු මාලන් පෙරේරා ඇතුලු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.