නාවික හමුදා අන්තර් විධාන රග්බි තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වෙයි

නාවික හමුදා අන්තර් විධාන රග්බි තරඟාවලිය - 2025, මෙවර බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු රග්බි පිටියේ දී 2025 ජුලි මස 23 සිට 25 දක්වා සාර්ථකව පැවති අතර, එහි පිරිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානයත්, කාන්තා ශූරතාවය පුහුණු විධානයත් දිනාගැනීමට සමත් විය.

ඒ අනුව, තරඟාවලියේ පිරිමි අවසන් තරඟය පුහුණු විධානය සහ නැගෙනහිර නාවික විධානය අතර පැවැත්විණි. එහිදී දක්ෂ ලෙස ක්‍රීඩා කළ නැගෙනහිර නාවික විධාන කණ්ඩායම ලකුණු 07/05 ක් ලෙස පුහුණු විධාන කණ්ඩායම පරාජය කරමින් මෙවර අන්තර් විධාන පිරිමි රග්බි ශූරතාවය දිනාගැනීමට සමත් වූ අතර, එහි අනු ශූරතාවය පුහුණු විධානයටත්, තෙවන ස්ථානය බටහිර නාවික විධානයටත් හිමි විය.

පුහුණු විධානය සහ උතුරු නාවික විධානය අතර පැවති කාන්තා අවසන් තරඟය 10/05 ක් ලෙස ජයග්‍රහණය කල පුහුණු විධාන කණ්ඩායම, අන්තර් විධාන කාන්තා රග්බි ශූරතාවය දිනාගත් අතර, උතුරු නාවික විධානයට එහි අනු ශූරතාවය සහ උතුරු මැද නාවික විධානයට එහි තෙවන ස්ථානය හිමි විය.

අන්තර් විධාන රග්බි තරඟාවලිය - 2025 හි පලිහ ශූරතාවය උතුරු මැද නාවික විධානය විසින් දිනාගැනීමට සමත් වූ අතර, බඳුන ශූරතාවය වයඹ නාවික විධානය විසින් දිනාගැනීමට සමත් විය.

එමෙන්ම, තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය නැගෙනහිර නාවික විධානයේ ලුතිනන් කේවීටීඑන් ධර්මදාස විසින් සහ දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය උතුරු නාවික විධානයේ අධුනික කාන්තා නැවි එච්කේපී කරුණාතිලක විසින් දිනාගැනීමට සමත් විය.

තවද, අන්තර් විධාන රග්බි තරඟාවලිය - 2025 හි අවසන් දින ප්‍රධාන ආරාධිතයා වශයෙන් නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වා සහභාගී වූ අතර, මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, අධ්‍යක්‍ෂ ක්‍රීඩා ඇතුළු ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.