නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ එනසාල් තොගයක් සමඟ සැකකරුවන් 02ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය කිරිමුන්දලම මුහුදු ප්‍රදේශය ආවරණය වන පරිදි 2026 මාර්තු මස 31 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් අතරතුරදි, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ එනසාල් කිලෝ ග්‍රෑම් අනු අටක (98) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින්, කල්පිටිය කිරිමුන්දලම මුහුදු ප්‍රදේශය ආවරණය වන පරිදි සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) පරීක්‍ෂාවට ලක් කිරීමේදි එහි තිබු නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ එනසාල් කිලෝ ග්‍රෑම් අනු අටක (98) පමණ තොගයක් නිරීක්ෂණය වි ඇති අතර, පසුව එම ඩිංගි යාත්‍රාව (01) සමඟ සැකකරුවන් දෙදෙනා (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කොට ඇත.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 19ක් සහ 41ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති අතර, නාවික හමුදා භාරයට ගත් එම සැකකරුවන් ඩිංගි යාත්‍රාව සහ එනසාල් තොගය සමග ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.


















