දහහතරවන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය පැවැත්වේ
දහහතරවන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද දින (2026 අගෝස්තු 14) වැලිසර Wave n’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර ක්‍රීඩා උළෙල, ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ වත්මන් සභාපති මෙන්ම නාවික හමුදාධිපති වන වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සංවිධානය කර ඇත.
ඒ අනුව, ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ ඔලිම්පික් පහන දැල්වීමෙන් අනතුරුව සමාරම්භක උත්සවයේ කටයුතු ආරම්භ විය. ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු (04) මෙම අවස්ථාවට එක්ව සිටීමද මෙහි විශේෂත්වයක් වූ අතර, ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන් ඔවුන් ලබාදුන් සුවිශේෂී දායකත්වය අගය කරමින් ඔවුන් වෙත ඇගයීම් සංකේත ප්‍රදානය කිරීමද මෙහිදි සිදු කෙරිණි.
මෙහිදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල නිල වශයෙන් ආරම්භ කරන ලද අතර, සන්නද්ධ හමුදාවන් අතර එකමුතුකම, ක්‍රීඩාශීලීත්වය, සුහදත්වය සහ අන්‍යෝන්‍ය විශ්වාසය වර්ධනය කිරීම මෙන්ම ක්‍රීඩා කුසලතා ප්‍රවර්ධනය කිරීම මෙම ක්‍රීඩා උළෙලේ ප්‍රධාන අරමුණ ලෙස ප්‍රකාශ කරන ලදි .
මෙවර ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩා ඉසව් 39ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,000කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතය. ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ජයග්‍රහණ මව්බිමට අත්කර දීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙන අතර, ඒ අනුව, 2026/2027 ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල තුළින් ත්‍රිවිධ හමුදාවන්හි දක්ෂතා සහිත නව ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් හඳුනා ගැනීමටත්, ඔවුන්ට ඉදිරියේදී ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව සලසා දීමටත් අපේක්ෂා කෙරේ.
මෙම උත්කර්ෂවත් අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක්ද සහභාගී වූහ.













