‘Commandant’s Cup Sailing Regatta - 2026’ තරඟාවලිය ත්‍රීකුණාමලයේදී සාර්ථකව නිමාවට පත් වෙයි
ත්‍රීකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨය මඟින් හයවන වරටත් සංවිධානය කරන ලද ‘Commandant’s Cup Sailing Regatta - 2026’ රුවල් යාත්‍රා තරඟාවලිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහ ශ්‍රී ලංකා රුවල් යාත්‍රා සංගමයේ සහයෝගය සහිතව 2026 අගෝස්තු මස 19 වැනි දින සිට දින හතරක් (04) ත්‍රීකුණාමලය නාවික තටාකංගනයේ Dutch Bay මුහුදු තීරයේදී සාර්ථකව පැවැත්වුනු අතර, තරඟාවලියේ ජයග්‍රාහකයන් වෙත පදක්කම් සහ කුසලාන පිරිනැමීම, අද දින (2026 අගෝස්තු 22) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ශ්‍රී ලංකා රුවල් යාත්‍රා සංගමයේ (Yachting Association of Sri Lanka - YASL) අධීක්‍ෂණයෙන්, Cup Championship සහ Open Championship වශයෙන් කාණ්ඩ දෙකක් (02) යටතේ පැවැති මෙම තරඟාවලිය සඳහා; ඉතාලිය, ඉන්දියාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, චීනය සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හයක (06) නාවික හමුදා විද්‍යාපීඨ නියෝජනය කරමින් නිලධාරීන් සහ පුහුණුවන නිලධාරීන් මෙන්ම, විවෘත අංශයද ඇතුළුව තරඟ කරුවන් හතලිස් දෙනෙකු (40) සහභාගී වූහ.
ඒ අනුව සිව් (04) දිනක් පුරා පැවති මෙම තරඟාවලියේ ILCA 4 කාණ්ඩයේ පළමු ස්ථානය ශ්‍රී ලංකාවේ Muazzam Imtiaz විසින්ද, එම කාණ්ඩයේ දෙවන ස්ථානය Minuga Nimsira Hettigamage විසින් සහ එම කාණ්ඩයේ තෙවන ස්ථානය Kevaan De Costa විසින් දිනා ගැනීමට සමත් විය.
ILCA 6 කාණ්ඩයේ පළමු ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමූහ ප්‍රධාන සුළු නිලධාරී පීපීඩීඑස් රාජපක්‍ෂ විසින්ද, එම කාණ්ඩයේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ Arianna Taalya Tranchell විසින් සහ එම කාණ්ඩයේ තෙවන ස්ථානය ඉන්දියානු නාවික හමුදාවේ ලුතිනන් කොමාණ්ඩර් Aman M Vyas විසින්ද දිනා ගැනීමට සමත් විය.
ILCA 7 කාණ්ඩයේ පළමු ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සුළු නිලධාරී යුඩී රාජපක්‍ෂ විසින්ද, එම කාණ්ඩයේ දෙවන ස්ථානය නායක නැවි ජේඑස් සෙනෙවිරත්න විසින් සහ එම කාණ්ඩයේ තෙවන ස්ථානය නායක නැවි ඒඑම්ජේපී අත්තනායක විසින් දිනා ගැනීමට සමත් විය
තරඟාවලියේ Open Championship කාණ්ඩයේ පළමු ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමූහ ප්‍රධාන සුළු නිලධාරී පීපීඩීඑස් රාජපක්‍ෂ විසින්ද, දෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ Muazzam Imtiaz විසින් සහ එම කාණ්ඩයේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ Minuga Nimsira Hettigamage විසින් දිනා ගැනීමට සමත් විය.
ජයග්‍රාහකයින් වෙත ත්‍යාග ප්‍රධානයෙන් අනතුරුව, තරඟාවලියේ සමාප්ති උළෙල අමතමින් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, මෙම තරඟාවලිය සඳහා විදේශීය නාවික විද්‍යාපීඨ නියෝජනය කරමින් සහ නාවික හා සාගරික විද්‍යාපීඨය නියෝජනය කරමින් සහභාගී වූ සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ජයග්‍රාහකයින්, තරඟාවලියේ සංවිධායකයින් සහ තරඟ විනිෂ්චයකාරවරුන් වෙත ප්‍රථමයෙන් සිය සුබපැතුම් පිරිනමනු ලැබීය.
එහිදී, වැඩි දුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, මෙම තරඟාවලිය ත්‍රිකුණාමලය නාවික තාටාකංගනයේ ජල තීරයට පමණක් සීමා නොවී දෙස් විදෙස් ජල ක්‍රීඩා ලෝලීන්ගේ ආකර්ෂණය දිනාගත් වාර්ෂික ක්‍රීඩා ඉසව්වක් ලෙස සංවිධානය කිරීම නාවික හමුදාවේ අපේක්‍ෂාව බවත්, එම තරඟාවලිය නැරඹීම වෙනුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට බොහෝ සංචාරකයින් කටයුතු කරනු ඇති බවත් අවධාරණය කළේය.
ක්‍රීඩාව තුළින් වර්ධනය වන; ක්‍රීඩාශීලීත්වය, කණ්ඩායම් හැඟීම, සහෝදරත්වය සහ අභියෝග ජයගැනීමේ හැකියාව පිළිබඳව අවධාරනය කල නාවික හමුදාධිපති, ‘Commandant’s Cup Sailing Regatta - 2026’ රුවල් යාත්‍රා තරඟාවලිය සාර්ථකව පැවැත්වීම සඳහා දායකවූ ආරක්‍ෂක අමාත්‍යාංශය ඇතුළු සියළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන, සංගම්, අනුග්‍රාහකභවතුන් සහ අනෙකුත් සියළු පාර්ශ්වකරුවන්ගේ දායකත්වය අගයමින් එහිදී සිය කෘතවේදීත්වය පලකරන ලදි.
මෙම තරඟාවලිය වාර්ෂිකව පැවැත්වීම තුළින්, ක්‍රීඩාව හරහා විදේශීය නාවික හමුදා සමඟ පවත්නා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකාවේ ජල ක්‍රීඩා ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමින් ප්‍රවර්ධනය කිරීම මෙන්ම, සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීම ද නාවික හමුදාව අපේක්ෂා කරයි.
තවද, මෙම අවස්ථාව සඳහා රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින්, ත්‍රිකුණාමලය දිසාපති ඩබ්ජීඑම් හේමන්ත කුමාර මහතා, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ඇතුළු එම විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, විදේශීය නාවික විද්‍යාපීඨයන්ගේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා රුවල් යාත්‍රා සංගමයේ සාමාජිකයන්, නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයේ සාමාජිකයන්, නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.
එමෙන්ම, විවිධ ආයතන ගණනාවක අනුග්‍රාහක දායකත්වයෙන් සාර්ථකව පැවැත්වූ මෙම තරඟාවලියේ නිල මාධ්‍ය අනුග්‍රාහක ලෙස සිරස ටීවී සහ නිවුස් ෆර්ස්ට් කටයුතු කරන ලදි.
එමෙන්ම, මෙම තරඟාවලිය සාර්ථකව පැවැත්වීම සඳහා විවිධ ආයතන ගණනාවක අනුග්‍රාහක දායකත්වය හිමි විය.













