EVENT NEWS 2026

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති නිරීක්‍ෂණය කරයි

03 Aug 2026

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් හැකියාවන් තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ප්‍රධාන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම උදෙසා ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ජූලි 30 වන දින ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

තටාකාංගනය වෙත සපැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගන්නා ලදී.

මෙම සංචාරයේදී, ත්‍රිකුණාමලය නාවික තටාකාංගන පරිශ්‍රයේ ඉදිකෙරෙමින් පවතින පාවෙන තටාකාංගනය සහ නව ජැටියේ ඉදිකිරීම් කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ නිරීක්‍ෂණයට ලක් විය. නාවික හමුදාවේ මෙහෙයුම් සූදානම ශක්තිමත් කිරීම මෙන්ම ජාතික සමුද්‍රීය ආරක්‍ෂක අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා මෙම උපායමාර්ගික යටිතල පහසුකම් ව්‍යාපෘති සක්‍රියව ක්‍රියාත්මක කරනු ලබයි.

එම ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව, නියමිත ප්‍රමිතීන් හා උසස් ගුණාත්මකභාවය සුරකිමින් ඉදිකිරීම් කටයුතු කඩිනම් කර, නියමිත කාලරාමුව තුළ සාර්ථකව අවසන් කිරීමට අවශ්‍ය මඟපෙන්වීම සහ උපදෙස් නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් අදාළ නිලධාරීන් වෙත ලබා දෙන ලදී.

නිරීක්‍ෂණ චාරිකාව නිමාවේදී, නාවික තටාකාංගනයේ ඉදිරි සංවර්ධන කටයුතු හා නාවික බලඇණියේ කාර්යක්‍ෂමතාව තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා සහ රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ අතර සුහද සාකච්ඡාවක් පැවැත්වුණු අතර, මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගන්වන ලදී.

මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු හරිත ජයදේව ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් ද එක්ව සිටියහ.

මාධ්‍ය අනුග්‍රහය - www.defence.lk

Accessibility Tools