EVENT NEWS 2026

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා නාවික හමුදාවේ ආරක්‍ෂක සහ මෙහෙයුම් සූදානම නිරීක්‍ෂණය කරයි

19 Aug 2026

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) අගෝස්තු 18 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.

නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු විසින් පිළිගන්නා ලදී. මෙම සංචාරය අතරතුර, නාවික හමුදාවේ දැනට ක්‍රියාත්මක මෙහෙයුම් කටයුතුවල වර්තමාන ප්‍රගතිය මෙන්ම මාතෘ භූමිය සුරක්‍ෂිත කිරීම සහ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම උදෙසා ගෙන ඇති පියවර පිළිබඳව නාවික හමුදාපතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් විසින් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කරන ලදී.

දිවයින වටා සමුද්‍රීය ආරක්‍ෂාව පවත්වාගැනීමේදී නාවික හමුදාව ඉටුකරන කාර්යභාරය මෙන්ම, මුහුදු මාර්ග ඔස්සේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයන් මැඩපැවැත්වීම සහ ඒවා මුලිනුපුටා දැමීම සඳහා භාවිතා කරනු ලබන නූතන උපක්‍රමශීලී හා උපායමාර්ගික ක්‍රමවේදයන් පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කෙරිණි.

එමෙන්ම, නැගී එන ආරක්‍ෂක අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සහ ජාතික අභිලාෂයන් සුරක්‍ෂිත කිරීම උදෙසා පවතින සම්පත් හා කාර්ය මණ්ඩලය කාර්යක්ෂමව යොදවමින්, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිවයින වටා සමුද්‍රීය කලාපය පුරා පවත්වාගෙන යනු ලබන පුළුල් හා නොකඩවා සිදුවන මෙහෙයුම් ජාලය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

මෙහිදී ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් ඇමතූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, ජනාධිපතිතුමන් සහ සන්නද්ධ හමුදා සේනාධිනායක වෙනුවෙන්, විශේෂයෙන්ම මුහුදු මාර්ගයෙන් සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමට සහ මාතෘ භූමිය සුරක්‍ෂිත කිරීමට නාවික හමුදාව දක්වන සක්‍රීය දායකත්වය හා කැපවීම ඇගයීමට ලක් කළේය.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.

මාධ්‍ය අනුග්‍රහය - www.defence.lk

Accessibility Tools