‘සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුමට සමගාමීව නාවික හමුදාවෙන් ඩෙංගු මර්ධන වැඩසටහන් මාලාවක්
‘සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුමට සමගාමීව, රට පුරා පවතින ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්, 2026 ජුලි මස 31 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිවයින පුරා පිහිටි නාවික හමුදා කඳවුරු හා ඒවා අවට ප්‍රදේශ ආවරණය වන පරිදි පුළුල් ඩෙංගු මර්ධන වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී.
බටහිර, දකුණ, උතුරු මැද, වයඹ සහ ගිනිකොන නාවික විධානයන්ට අයත් කඳවුරු පරිශ්‍රයන් ආවරණය වන පරිදි සිදුකළ මෙම වැඩසටහන් මගින්; පරිසරය විධිමත්ව පරීක්‍ෂාවට ලක් කරමින් ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන ඒවා පිරිසිදු කිරීම හා විනාශ කිරීම, අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කළ අතර, එමගින් සෞඛ්‍යාරක්ෂිත හා පිරිසිදු පරිසරයක් ගොඩනැගීම සඳහා නාවික හමුදාව කටයුතු කරන ලදී.
තවද, මෙම ඩෙංගු මර්ධන වැඩසටන් සඳහා නාවික විධානයන්ට අයත් නාවික පුද්ගලයින් විශාල පිරිසක් සහභාගි වූ අතර, මාරාන්තික ඩෙංගු උවදුර මර්ධනය කිරීම සඳහා දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩසටහන් සඳහා නාවික පුද්ගලයින් නිරන්තරයෙන් සිය දායකත්වය ලබා දීමට කටයුතු කරනු ලබයි.













