වියළි කාලගුණයෙන් පීඩාවට පත් ඩෙල්ෆ්ට් දූපතේ පෝනි අශ්වයන් වෙත නාවික හමුදාවෙන් පානීය ජලය
ස්වභාවික පරිසරයේ ජෛව විවිධත්වය සුරැකීම වෙනුවෙන් ක්‍රියාත්මක 'ක්ලීන් ශ්‍රී ලංකා' ජාතික වැඩසටහන යටතේ සිදුකෙරෙන පරිසර හිතකාමී ව්‍යාපෘතීන් වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර දායකත්වය ලබාදෙනු ලබන අතර, ඊට සමඟාමීව, පවත්නා අධික වියළි කාලගුණික තත්වය හමුවේ පීඩාවට පත්, යාපනය, ඩෙල්ෆ්ට් දූපතේ සිටින දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමඳ ආකර්ශනය දිනාගත් පෝනි අශ්වයන් වෙත පානීය ජලය සැපයීම, 2026 අගෝස්තු මස 21 වැනි දින උතුරු නාවික විධානය මඟින් ආරම්භ කෙරිණි.
උතුරු පළාතේ පවත්නා අධික වියළි කාලගුණික තත්වය හමුවේ ජල මූලාශ්‍ර සිඳී යාමෙන්, යාපනය දිස්ත්‍රීක්කයේ ඩෙල්ෆ්ට් දූපත ආශ්‍රිත පරිසරයේ වෙසෙන පෝනි අශ්වයන් ඇතුළු වන සතුන් පානීය ජල හිඟයෙන් විශාල පීඩාවකට පත්ව ඇත.
ඒ අනුව, ඩෙල්ෆ්ට් දූපතේ සුන්දරත්වය හා ජෛව විවිධත්වය අනාගත පරපුර වෙත රැකදීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැපවීම පෙන්නුම් කරමින්, උතුරු නාවික විධානයේ ආඥාපතිගේ අධීක්‍ෂණයෙන්, ශ්‍රී ලංකා නාවික නෞකා 'වසභ' ආයතනය මඟින් ආරම්භ කෙරුණු මෙම වැඩසටහන යටතේ, එම දූපතේ බටහිර කොටසේ වෙල්ලායි ප්‍රදේශයේ වෙසෙන පෝනි අශ්ව ගහනය වෙනුවෙන් මෙලෙස පානීය ජලය සැපයීම ආරම්භ කෙරිණි.
තවද, යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාදීම වෙනුවෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දූපත් ආවරණය වන පරිදි ස්ථාපනය කර ඇති ප්‍රජා ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු මධ්‍යස්ථාන වෙතින්, දෛනිකව ජනතාව වෙත පිරිසිදු පානීය ජලය සැපයීම නාවික හමුදාව මඟින් අඛණ්ඩව සිදුකරනු ලබයි.













