EVENT NEWS 2026

ශ්‍රී ලංකා නාවික හමුදාධිපති ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ධජ නිලධාරි සමඟ නිල හමුවක්

31 Aug 2026

ඉන්දීය නාවික හමුදා‍වේ ආරාධනයකට අනුව, ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ කෝචි නුවර පිහිටි ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධාන මූලස්ථානයේ දී, ඉන්දීය දකුණු නාවික විධානයට අණදෙන ධජ නිලධාරි, වයිස් අද්මිරාල් සමීර් සක්සේනා (Vice Admiral Sameer Saxena) සමඟ නිල හමුවක් සඳහා 2026 අගෝස්තු මස 29 වැනි දින සහභාගි විය.

ඒ අනුව, මෙම නිල හමුවේදී දෙරටේ නාවික හමුදා අතර ඒකාබද්ධ පුහුණු හුවමාරු වැඩසටහන්, ධාරිතා සංවර්ධනය සහ සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගිතාවය ශක්තිමත් කිරීම ඇතුළු ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු පිලිබඳ දෙපාර්ශවය අතර උපාය මාර්ගික මට්ටමේ සාකච්ඡාවක් පැවැත්විණී.

තවද, මෙම නිල සංචාරයට සමඟාමීව, ඉන්දීය නාවික හමුදා‍වේ දකුණු නාවික විධානයේ පුහුණු පහසුකම් නිරීක්‍ෂණය සඳහා සහභාගි වූ නාවික හමුදාධිපති විසින් එම විධානයේ පුහුණු පාසල් තුල පුහුණුව ලබන ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන් සමඟ අදහස් හුවමාරු කර ගැනීම ද එහිදී සිදුකෙරිණි. එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, ඔහු විසින් 2002 වර්ෂයේදි අවි පිළිබඳ විශේෂඥ පාඨමාලාව හැදෑරු ඉන්දීය නාවික හමුදාවේ INS Dronacharya පුහුණු පාසලෙහි නිරීක්‍ෂණ සංචාරයක් සඳහා ද එහිදි සහභාගි විය.

Accessibility Tools