ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයෙක් අනුස්මරණය කිරීම වෙනුවෙන් උතුරේ බස් නැවතුම්පොළක් ඉදිකෙරේ
රාජකීය ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නායක නැවි තරාතිරමේ කටයුතු කල, යාපනය චුන්නාකම් ප්‍රදේශයේ පදිංචිව සිටි නායක නැවි මයිලු කනගරත්නම් (මියගිය) අනුස්මරණය කිරීම වෙනුවෙන්, යාපනය කංකසන්තුරය මාර්ගයේ චුන්නාකම් ප්‍රදේශයේ ඉදිකල බස් නැවතුම්පොළක් මහජන අයිතියට පැවරීම, අද දින (2026 අගෝස්තු 25) උතුරු පළාත් ගරු ආණ්ඩුකාර, නාගලිංගම් වේතනායගම් මහතාගේ සහ උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු බුද්ධික රූපසිංහගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
යාපනය ඉනුවිල් ප්‍රදේශයේ උපත ලබා ඇති, නායක නැවි මයිලු කනගරත්නම් (මියගිය), 1959 වර්ෂයේ ජුනි මස 18 වැනි දින රාජකීය ලංකා නාවික හමුදාවට එක් වී ඇත. අනතුරුව, රාජකීය ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගුවන් විදුලි විද්‍යුත් කාර්මික නාවිකයෙකු ලෙස රාජකාරී සිදු කර, 1974 වර්ෂයේ පෙබරවාරි මස 07 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඉවත්ව ඇති ඔහු, 2024 වර්ෂයේ අගෝස්තු මස 25 වන දින මියගොස් ඇත.
ඒ අනුව, නායක නැවි මයිලු කනගරත්නම් (මියගිය) අනුස්මරණය කිරීම වෙනුවෙන්, ඔහුගේ පවුලේ ඥාතීන් විසින් ඉදිකරන ලද බස් නැවතුම්පොළක් මෙලෙස ජනතා අයිතියට පත් කිරීම, උතුරු පලාත් ගරු ආණ්ඩුකාර හා උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් සහ උතුරු නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයින් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.













