EVENT NEWS 2026

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 264 වැනි බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 269ක් විසිර යයි

05 Jul 2026

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 264 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් දෙසීය හතලිස් නව දෙනෙක් (249) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් විසි දෙනෙකු (20) ඇතුළු ආධුනික නාවිකයින් දෙසීය හැට නව දෙනෙකු (269) සිය මූලික පුහුණුව සාර්ථකව අවසන් කර, 2026 ජුලි මස 04 වැනි දින පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යාම සිදුකෙරිණි. මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස, උතුරු නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ සහභාගී විය.

අභියෝගාත්මක වෘත්තියක් සොයන දැයේ ජවසම්පන්න දූ පුතුනට, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත බැඳී, විවිධ වෘත්තීය ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ මව්බිම වෙනුවෙන් සේවය කිරීම සඳහා නාවික හමුදාව අවස්ථාව උදා කර දී ඇත.

එහි උපරිම පල නෙලා ගැනිම සඳහා අවස්ථාව හිමි කරගත් දූ පුතුන් 264 වැනි ආධුනික බඳවා ගැනීම යටතේ මූලික පුහුණුව සඳහා, නාවික හමුදාවේ ආධුනික නාවිකයන් පුහුණු කිරීමේ ප්‍රමුඛ පුහුණු ආයතනයක් වන, පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනය වෙත අනුයුක්ත විය.

ශික්‍ෂා ආයතනයේදී සිදුකෙරුණු න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ ආධුනික නාවිකයින් වෙත කුසලාන ප්‍රදානය කිරීම මෙම විසිරයාමේ පෙළපාලියේදී ප්‍රධාන ආරාධිතයා විසින් සිදු කෙරිණි. ඒ අනුව, 264 වන බඳවා ගැනීම යටතේ විසිර යන ලද ආධුනික නාවිකයින් දෙසීය හැට නව දෙනෙකු දෙනෙකු (269) අතරින් විශිෂ්ඨතම ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි එම්ඩීපීඑච් දිසානායක විසින් හිමිකර ගන්නා ලදි. එමෙන්ම, සියලුම විෂයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි එස්ඒ තල්පගේ විසින්ද, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ආධුනික නැවි පි කම්සන් විසින්ද, දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි එච්ඒඒ රුවන්තිකා විසින් සහ දක්‍ෂතම ඉලක්කකරුට හිමි කුසලානය ආධුනික නැවි එන්එම්ඩීඑල් නවරත්න හිමි කර ගන්නා ලද අතර, 264 වන ආධුනික බඳවා ගැනීමට අයත් දක්‍ෂතම අංශයට හිමි කුසලානය ‘රණජය’ අංශය විසින් හිමි කර ගන්නා ලදී.

මෙහිදී විසිර යන ආධුනික නාවිකයන් ඇමතූ රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, පාසල් අධ්‍යාපනයෙන් පසු නාවික හමුදා සේවය තෝරා ගැනීම තුළින් සැබෑ පෞරුෂයකින් හෙබි එඩිතර පුරවැසියන් බවට පත්වීමට ඔවුන්ට හැකි වී ඇති බව අවධාරණය කළේය.

මෙය පුහුණුවේ ආරම්භය පමණක් බවත්, ඉදිරියේදී ආයුධ හා උපකරණ භාවිතය, නවීන තාක්‍ෂණික ක්‍රමෝපායන් සහ ජාත්‍යන්තර සමුද්‍රීය හා තාක්‍ෂණික ප්‍රවණතා පිළිබඳව නිරන්තරයෙන් අධ්‍යයනය කළ යුතු බවත්, එතුමා පෙන්වා දුන්නේය. නාවිකයෙකු සතු වටිනාම සම්පත වන්නේ ඔහු සතු විනය සහ පුහුණුව බවත්, එය සෑම විටම ඔවුන්ව ආරක්‍ෂා කරන බවත් මෙහිදී ප්‍රකාශ කරන ලදි.

විශේෂයෙන්ම, ලබාගත් සුවිශේෂී පුහුණුව හා හැකියාවන් සමාජයේ පවතින නීති විරෝධී ක්‍රියාවන් සඳහා යොදා ගැනීමට බාහිර සමාජයේ ඇතැම් පුද්ගලයින් උත්සාහ කළ හැකි බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස නාවිකයින්ට උපදෙස් ලබා දුන් අතර, නාවික හමුදාවේ රාජකාරිය හුදෙක් දේශ සීමා ආරක්ෂාවට පමණක් සීමා නොවන බවත්, අපට හිමි විශාල මුහුදු කලාපයේ සහ අනන්‍ය ආර්ථික කලාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම, සමුද්‍රීය කලාපයේ මත්ස්‍ය සම්පත ඇතුළු සියලු ජලජ සම්පත් ආරක්‍ෂා කිරීම, නාවික ගමනාගමනය සුරක්‍ෂිත කිරීම, සෙවීම් හා මුදවා ගැනීමේ මෙහෙයුම් මෙන්ම ස්වභාවික විපත් වලදී ක්‍ෂණික ප්‍රතිචාර දැක්වීම ඔවුන්ගේ වගකීමක් බව පැහැදිලි කළේය.

තම දරුවන් දැයේ මෙහෙවර වෙනුවෙන් කැප කිරීමට තීරණය කළ ආදරණීය දෙමාපියන්ට නාවික හමුදාවේ ගෞරවනීය ආචාරය පුද කළ ප්‍රධාන ආරාධිත අමුත්තා, ඉදිරියේදී එළඹෙන ඕනෑම දුෂ්කර අවස්ථාවකදී දරුවන්ව ධෛර්යමත් කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

විසිර යන ලද ආධුනික නාවිකයන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණු දර්ශනීය සරඹ සංදර්ශනයකින් සහ නාවික හමුදා තුර්යවාදක කණ්ඩායම හා සංස්කෘතික නර්තන කණ්ඩායම විසින් ඉදිරිපත් කල විචිත්‍රවත් සංදර්ශනයකින් මෙන්ම, නාවික හමුදා අංගම් හරඹ සංචිතයේ සංදර්ශණයකින්ද වර්ණවත් වූ මෙම විසිරයාමේ පෙළපාලිය සාම්ප්‍රදායික හිරු අස්ථවිය චාරිත්‍රයෙන් අනතුරුව නිමාවට පත්විය.

තවද, මෙම විසිරයෑමේ පෙළපාලිය සඳහා උතුරු මැද නාවික විධානයේ ආඥාපති ඇතුළු උතුරු මැද නාවික විධානයේ සහ නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් විසිර යන ලද ආධුනික නාවිකයින්ගේ දෙමාපියන් පිරිසක් සහභාගී වී සිටියහ.

Accessibility Tools