EVENT NEWS 2026

ජාතික ආරක්ෂාව හා උපායමාර්ගික අධ්‍යයන (NS&SS) පාඨමාලාවේ නිලධාරීන් නැගෙනහිර නාවික විධානයේ අධ්‍යයන චාරිකාවක නිරතවෙයි

15 Jul 2026

ජාතික ආරක්ෂාව හා උපායමාර්ගික අධ්‍යයන (National Security & Strategic Studies - NS&SS) පාඨමාලා අංක පහ (05) හදාරන දේශීය හා විදේශීය ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිසක්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිදුකරනු ලබන අධ්‍යයන චාරිකාවේ එක් අංගයක් ලෙස 2026 ජූලි මස 14 වන දින ත්‍රිකුණාමලයේ පිහිටි නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය හමුවිය. මෙම දූත පිරිස ජාතික ආරක්ෂක විද්‍යාලයේ (NDC) ආඥාපති මේජර් ජෙනරාල් චමිල මුණසිංහගේ නායකත්වයෙන් පැමිණ සිටියහ.

සුහද හමුවෙන් අනතුරුව පැවති දැනුවත් කිරීමේ වැඩසටහනේදී, නැගෙනහිර නාවික ප්‍රදේශයේ මෙහෙයුම් වගකීම්, එහි උපාය මාර්ගික වැදගත්කම මෙන්ම ශ්‍රී ලංකාවේ සමුද්‍රීය අවශ්‍යතා සුරක්ෂිත කිරීම, සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීම සහ නැගෙනහිර මුහුදු කලාපය තුළ සිදුකරනු ලබන මෙහෙයුම් කටයුතු සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉටුකරනු ලබන සුවිශේෂී කාර්යභාරය පිළිබඳව නැගෙනහිර නාවික විධානයේ ආඥාපති විසින් දූත පිරිස දැනුවත් කරන ලදී.

මෙම දූත පිරිසට ජාතික ආරක්ෂක විද්‍යාලයේ උපදේශක මණ්ඩලය සමඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද, ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, ඉන්දියාව, බංග්ලාදේශය, ඕමානය සහ සෞදි අරාබිය යන මිත්‍ර රටවල සන්නද්ධ හමුදාවන් නියෝජනය කරමින් මෙම පාඨමාලාව හැදෑරීම සඳහා සහභාගි වූ විදේශීය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද ඇතුළත් වූහ. එමඟින් ජාතික ආරක්ෂාව හා උපායමාර්ගික අධ්‍යයන පාඨමාලාවේ බහුජාතික ස්වභාවය සහ ජාත්‍යන්තර සහයෝගීතාවය මනාව පිළිබිඹු විය.

අධ්‍යයන චාරිකාවේ තවත් වැදගත් අංගයක් ලෙස දූත පිරිස ත්‍රිකුණාමලය නාවික අංගනයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූ අතර, එහිදී එම නාවික අංගනයේ අලුත්වැඩියා, නඩත්තු හා තාක්ෂණික සහාය පහසුකම් පිළිබඳව දැනුවත් කිරීමක් සිදු කෙරිණි. මෙම සංචාරය තුළින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් සහ සැපයුම් හැකියාවන් පිළිබඳ දූත පිරිසගේ අවබෝධය තවදුරටත් පුළුල් විය.

Accessibility Tools