පුහුණුව ලබන ආධුනික නාවිකයින්ගේ නේවාසික සහ සුභසාධන පහසුකම් පුළුල් කෙරේ
පුහුණුව ලබන ආධුනික නාවිකයින්ගේ නේවාසික සහ සුභසාධන පහසුකම් ඉහළ නැංවීමේ අරමුණින්, දකුණු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනය තුල අභිනවයෙන් ඉදිකළ නිවාස සංකීර්ණය විවෘත කිරීම දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන ගේ ප්‍රධානත්වයෙන්, අද දින (2026 ජූලි 16) සිදු කෙරිණි.
ඒ අනුව, නාවික හමුදා සිවිල් ඉංජිනේරු, විදුලි හා විද්‍යුත් සහ ඉංජිනේරු අංශයන්හී තාක්‍ෂණික, ශිල්පීය හා ශ්‍රම දායකත්වය ඇතිව අභිනවයෙන් ඉදිකරන ලද මෙම නිවාස සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව, ඒ සඳහා කැපවීමෙන් දායකත්වය ලබාදුන් සියළුම නාවික හමුදා පුද්ගලයින් ඇගයීමට ලක් කිරීමද දකුණු නාවික විධානයේ ආඥාපති විසින් එහිදී සිදු කරන ලදී.
මෙම නව නිවාස සංකීර්ණය ආධුනික නාවිකයින් සඳහා සුවපහසු, ආරක්ෂිත හා විධිමත් නේවාසික පරිසරයක් සැපයීමේ අරමුණින් ඉදිකර ඇති අතර, එමඟින් ඔවුන්ගේ ජීවන තත්වය හා සුභසාධන මට්ටම ඉහළ නැංවීමට සැලකිය යුතු දායකත්වයක් ලැබෙනු ඇත. තවද, නාවික පුද්ගලයන්ගේ සුභසාධනය ප්‍රවර්ධනය කිරීම හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව අඛණ්ඩව ක්‍රියාත්මක කරන වැඩසටහන් මාලාවේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙම ව්‍යාපෘතිය හැඳින්විය හැක.
තවද, මෙම අවස්ථාව සඳහා දකුණු නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.













