EVENT NEWS 2026

නාවික හමුදාපති ධූරයේ වැඩ භාරගත් වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

04 Jul 2026

නව පත්වීම් ලැබූ නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ජූලි 03 වන දින නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමුවිය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වන නාවික හමුදාපතිවරයා ලෙස පත්වීම් ලැබූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වෙත නියෝජ්‍ය අමාත්‍යවරයා සිය සුබ පැතුම් එක් කළේය. එමෙන්ම ආරක්‍ෂාවට සහ කලාපීය ස්ථාවරත්වයට තම දායකත්වය සපයමින්, මාතෘභුමියට ගෞරවයක් සහ අභිමානයක් අත්කරදීම සඳහා මෙන්ම, දේශයේ සමුද්‍රීය ආරක්‍ෂක අවශ්‍යතා සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නාවික හමුදාවෙහි නිරන්තර කැපවීම පිළිබඳවද නියෝජ්‍ය අමාත්‍යවරයා සිය විශ්වාසය පළ කළේය.

මෙම සුහද සාකච්ඡාව අතරතුර, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ නාවික හමුදාපතිවරයා සමුද්‍රීය ආරක්‍ෂාව, දැනට ක්‍රියාත්මක මෙහෙයුම් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අනාගත සංවර්ධන කටයුතුවලට අදාළ කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ. තවද, අනාගත සමුද්‍රීය අභියෝගයන්ට මුහුණදීමේදී නාවික හමුදාවේ උපක්‍රමික ක්‍රමවේදයන් දියුණු කිරීම මෙන්ම ශක්තිමත් කිරීම පිළිබඳව ද ඔවුහු සාකච්ඡා කළහ.

මාධ්‍ය අනුග්‍රහය - www.defence.lk

Accessibility Tools