EVENT NEWS 2026

ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2026 හී මුහුදු අධියර ආරම්භ වෙයි

22 Jul 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන ‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2026’ හි මුහුදු අධියර 2026 ජූලි මස 21 වැනි දින ත්‍රිකුණාමලය මුහුදු තීරයේදී නාවික හමුදාවේ නෞකා බල ඇණිය, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහය, විශේෂ යාත්‍රා බලඝනය, මැරීන් බලකාය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහභාගීත්වයෙන් ආරම්භ විය.

ඒ අනුව, 2026 ජූලි මස 21 වැනි දින නෞකා හැසිරවීම ඇතුළු විවිධ නාවික අභ්‍යාස (MISCEX), මුහුද මතුපිට ඉලක්කයන් වෙත වෙඩි තැබීමේ පුහුණු අභ්‍යාස (SURFEX), නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීමේ අභ්‍යාසය (SCREENEX), අවි හැසිරවීමේ අභ්‍යාස (GUNEX) සහ මුහුදේදී ගුවනින් භාණ්ඩ හුවමාරුව (VERTREP) පිළිබඳ අභ්‍යාස සාර්ථකව සිදුකෙරිණි. අද දින (2026 ජූලි 22) සෙවීම් හා මුදා ගැනීමේ අභ්‍යාස (SAREX), තුවාලකරුවන් ප්‍රථමාධාර සඳහා ඉවත් කිරීමේ අභ්‍යාස (CASEVAC), නෞකා දෙකක් අතර භාණ්ඩ හුවමාරුව (RAS), ආපදාවට පත් නෞකාවක් ඇදගෙන යාම (TOWING), මුහුදේදී නෞකා අතර විදුලි ආලෝක දැල්වීම මඟින් පණිවිඩ හුවමාරුව (FLASHEX), සහ නැංගුරම් ලෑමේ අභ්‍යාස සිදුකරනු ලැබිය.

තවද, මෙම ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය යටතේ සිදුකෙරෙණ විවිධ නාවික අභ්‍යාස සඳහා පුහුණුවන නිලධාරීන් සහ නාවිකයන් හටද සහභාගී වීමට අවස්ථාව උදාවී ඇති අතර, ඔවුන්ගේ මෙහෙයුම් අත්දැකීම් වර්ධනය සඳහා මෙමඟින් විශාල දායකත්වයක් ගෙනදෙනු ඇත.

Accessibility Tools