ලෝක ජල ශාස්ත්‍රීය දිනය වැලිසර Wave n’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී උත්කර්ෂවත්ව සැමරේ
ජුනි මස 21 වන දිනට යෙදෙන ලෝක ජල ශාස්ත්‍රීය දිනයට සමගාමීව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය එක්ව සංවිධානය කළ ජාතික සැමරුම් උත්සවය 2026 ජුනි 23 වන දින වැලිසර Wave n’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, ජාතික ජල ශාස්ත්‍රීය සභාවේ සභාපති රියර් අද්මිරාල් සිසිර ජයකොඩි (විශ්‍රාමික), ජාතික ජල ශාස්ත්‍රඥ රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය සහ නාවික හමුදා ජල ශාස්ත්‍රීය ප්‍රධානී රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන ගේ ආරාධනයෙන්, මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහභාගී විය.
සාගර සම්පත් තිරසාරව භාවිත කිරීම, සමුද්‍රීය පරිසරය ආරක්‍ෂා කිරීම, නාවික ගමනාගමනයේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සහ ජල ශාස්ත්‍රීය විද්‍යාවේ වැදගත්කම පිළිබඳව ගෝලීය වශයෙන් දැනුවත් කිරීම අරමුණු කරගනිමින් ජාත්‍යන්තර ජලශාස්ත්‍රීය සංවිධානය (IHO) විසින් සෑම වසරකම ලෝක ජල ශාස්ත්‍රීය දිනය සමරනු ලබයි. 2006 වසරේ සිට විවිධ තේමා යටතේ පැවැත්වෙන මෙම සැමරුම් වැඩසටහනේ මෙවර තේමාව වූයේ “සාගර දත්ත හුවමාරු කරගන්නා ආකාරය පරිවර්තනය කිරීම” (Transforming How Ocean Data is Shared) යන්නයි.
ජාතික ජල ශාස්ත්‍රඥ රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය, 2023 වර්ෂයේදී ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය ස්ථාපිත කළ දා සිට අත්කර ගත් ජයග්‍රහණ, එහි ක්‍රමික වර්ධනය සහ රටේ ආර්ථික සංවර්ධනය සඳහා එම ආයතනය ලබාදෙන දායකත්වය පිළිබඳව අවධාරණය කරමින් ලෝක ජල ශාස්ත්‍රීය සැමරුම් දින උත්සවයේ පිළිගැනීමේ දේශනය සිදුකෙරිණි.
අනතුරුව උත්සවය ඇමතූ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය ස්ථාපිත කිරීමෙන් පසුත්, ජාතික ජල ශාස්ත්‍රීය පනත සම්මත වීමෙන් අනතුරුවත් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව කරුණු ඉදිරිපත් කළේය. එමෙන්ම, ජල ශාස්ත්‍රීය සේවාවන්හි වර්ධනය පාරිසරික තිරසාරභාවය, සමුද්‍රීය හා ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සහ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් සපයන බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවේ විශේෂ අංගයක් ලෙස, නාවික හමුදාධිපතිගේ උපදෙස් අනුව නිර්මාණය කරන ලද යාපනය කලපු ප්‍රදේශයේ නව මුහුදු සිතියම නිල වශයෙන් එළි දක්වා එහි මුල් පිටපත ආරක්‍ෂක ලේකම්වරයා වෙත පිළිගැන්විණි.
ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නලින් රත්නායක මහතා විසින් පැවැත්වූ විද්වත් දේශනයේදී, සුරක්ෂිත නාවික ගමනාගමනය තහවුරු කිරීම, සාගර පර්යේෂණ ප්‍රවර්ධනය, වෙරළ කළමනාකරණය සහ සාගර සම්පත් තිරසාරව භාවිත කිරීම සඳහා ජල ශාස්ත්‍රීය දත්තයන්හි වැදගත්කම විස්තර කරනු ලැබීය. තවද, ජ්‍යෙෂ්ඨ ජල ශාස්ත්‍රීය මිනුම් නිලධාරි ලුතිනන් කොමාණ්ඩර් සකුන් පෙරේරා විසින් මෙවර ලෝක ජල ශාස්ත්‍රීය දින තේමාවේ අරමුණු සහ සාගර දත්ත හුවමාරුවේ නව ප්‍රවණතා පිළිබඳව සහභාගී වූ පිරිස දැනුවත් කළේය.
මෙවර සැමරුම් වැඩසටහනට සමගාමීව, ජල ශාස්ත්‍රීය විද්‍යාවේ ප්‍රායෝගික භාවිතයන් පිළිබඳව විශ්ව විද්‍යාල සිසුන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය විසින් ජුනි 23 සහ 24 යන දෙදින තුළ විශේෂ න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් සංවිධානය කර ඇත.
මෙම අවස්ථාවට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජල ශාස්ත්‍රීය නිලධාරීන්, ජාතික ජල ශාස්ත්‍රීය සභාවේ නියෝජිතයන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, සමුද්‍රීය ක්ෂේත්‍රයේ විද්වතුන් හා පාර්ශ්වකරුවන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ විද්‍යාර්ථයින්, පුහුණුවන වෙළෙඳ නාවික නිලධාරීන් මෙන්ම සම්භාවනීය ආරාධිතයින් රැසක් සහභාගී වූහ.













