Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

දකුණු මුහුදේදී අනතුරට පත් ධීවරයෙකු, ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

29 May 2026

ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, ගැඹුරු මුහුදේදී හදිසි අනතුරකට ලක් වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදා යාත්‍රාවක් මඟින් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදාව විසින් 2026 මැයි මස 28 වැනි දින කටයුතු කෙරිණි.

කුඩාවැල්ල ධීවර වරායෙන් 2026 මැයි මස 05 වැනි දින ධීවරයින් හය දෙනෙකු (06) රැගත් බහුදින ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, නාවික සැතපුම් හත්සිය තිහක (730) පමණ දුරින්වූ ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදි, එහි සිටි ධීවරයෙකු හදිසි අනතුරකට ලක්ව ඇති අතර, එම ධීවරයා හට ප්‍රතිකාර ලබාදීම සඳහා ගොඩබිමට රැගෙන ඒමට අවශ්‍ය නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙස, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත සිදුකල දැනුම් දීමකට අනුව, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ ගමන් ගන්නා වෙළඳ නෞකා දැනුවත් කිරීමට එම මධ්‍යස්ථානය විසින් කටයුතු කෙරිණි. ඒ අනුව, ‘DONG FANG WEI YE’ නමැති වෙළඳ නෞකාව මඟින් හදිසි අනතුරට පත් ධීවරයා එම නෞකාවට නිරුපද්‍රිතව ලබා ගැනීමට කටයුතු කෙරුණු අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා එම ධීවරයා ගොඩබිමට රැගෙන ඒම සඳහා 2026 මැයි මස 28 වැනි දින උදෑසන දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා යාත්‍රාවක් එම වෙළඳ නෞකාව වෙත යොමු කෙරිණි.

ඒ අනුව, අනතුරට පත් ධීවරයා නාවික හමුදා යාත්‍රාව වෙත ලබා ගැනීමෙන් පසු මූලික ප්‍රථමාධාර ලබා දෙමින්, ඔහුව කඩිනමින් ගාල්ල වරාය වෙත රැගෙනවිත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල ජාතික රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කරන ලදි.

තවද, කොළඹ නාවික අනුඛණ්ඩයේ පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාව වෙත සහන සැලසීම සඳහා, නාවික හමුදාව නිරන්තර සුදානමින් සිටියි.

Accessibility Tools