EVENT NEWS › 2026

76 වැනි නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා ඒකාබද්ධ ක්‍රිස්තියානි සැමරුම් හා තුති පුද කිරීමේ දේව මෙහෙයක්

20 Nov 2026

2026 දෙසැම්බර් මස 09 වැනි දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 76 වැනි සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාලාවේ ඒකාබද්ධ ක්‍රිස්තියානි සැමරුම් හා තුති පුද කිරීමේ දේව මෙහෙය, නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ මූලිකත්වයෙන්, අනුරාධපුරය රදගුරු අති උතුම් ආචාර්ය නිශාන්ත සාගර ජයමාන්න හිමිපාණන්ගේ මෙහෙයවීමෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් අද දින (2026 නොවැම්බර් 20) කොටහේන, ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී පැවැත්විණි.

1991 වර්ෂයේදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිස්තියානි සංගමය, ඉහළම නාවික චාරිත්‍ර වාරිත්‍ර හා සම්ප්‍රදායන්ට අනුකූලව අඛණ්ඩව වසර 35ක් පුරා ඒකාබද්ධ සැමරුම් හා ස්තුති කිරීමේ දේව මෙහෙය පවත්වා ඇත. අනුරාධපුරය රදගුරු හිමිපාණන්ගේ මෙහෙයවීමෙන් පැවති මෙම ඒකාබද්ධ සැමරුම් දේව මෙහෙය සඳහා රෝමානු කතෝලික හා ක්‍රිස්තියානි සභාවන්ට අයන් පූජකතුමන් අට දෙනෙකු (08) ගේ කාරුණික පැමිණීම සහ යාඥාවන් සමඟින් ඉතාමත් අභිමානවත් අන්දමින් පැවැත්විණි.

"මුහුදේ ආරක්‍ෂකයා වන ඔබ සමඟ අපගේ ස්වාමීන් වහන්සේගේ සාමය සහ ශක්තිය වේවා" යනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව අත්පත් කරගත් සියලු ජයග්‍රහණ වෙනුවෙන් දෙවියන් වහන්සේ වෙත ප්‍රශංසා කරමින් තුති පුද කළ අනුරාධපුරය රදගුරු හිමිපාණන්, මාතෘභූමිය වෙත සාමය උදාකරදීම වෙනුවෙන් උතුම් කැපකිරීම් කළ සියළුම දෙනා ගෞරවපූර්වකව සිහිපත් කරමින්, නාවික හමුදා ධජය හා නාවික හමුදා විධාන ධජයන් වෙත ක්‍රිස්තියානි ආගමික වත් පිළිවෙත් අනුකූලව ආශිර්වාද ප්‍රාර්ථනා සිදුකෙරිණි.

එමෙන්ම, 76 වසරක නාවික හමුදා ඉතිහාසය තුළ මව්බිමේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සහ රණක්ෂිතයට පත්වූ වීරෝධාර නාවික හමුදා රණවිරුවන් හට මෙන්ම, දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික සියලුම නාවික පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හටත්, සමස්ථ නාවික හමුදාවටත් එහිදී ආශිර්වාද ප්‍රාර්ථනා කෙරිණි.

තවද, මෙම දේව මෙහෙය සඳහා හිටපු නාවික හමුදාධිපතිවරුන් හා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා ඇතුළු නාවික හමුදා කළමණාකරන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නාවිකයන් සහ බැතිමතුන් පිරිසක් සහභාගී වී සිටියහ.

Accessibility Tools