EVENT NEWS › 2026

නව නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි ලෙස පාලක ප්‍රධාන සුළු නිලධාරි කේඑම්ඒඑස් කුමාරසිංහ පත් කෙරේ

17 Nov 2026

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි (MASTER CHIEF PETTY OFFICER OF NAVY - MCPON) ලෙස, පාලක ප්‍රධාන සුළු නිලධාරි කේඑම්ඒඑස් කුමාරසිංහ යන ජ්‍යෙෂ්ඨ නාවිකයා අද දින (2026 නොවැම්බර් 17) පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් පුනාන්දු විසින් එම තනතුරට අදාල අත් පළඳනාව සහ යෂ්ඨිය නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි කේඑම්ඒඑස් කුමාරසිංහ වෙත පිරිනමා, ඔහු වෙත සුභාශිංසන පිරිනැමීම, නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

ඒ අනුව, මීට පෙර නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි ලෙස කටයුතු කළ, පාලක ප්‍රධාන සුළු නිලධාරි ඒඑච්ඩී වීරතුංග යන ජ්‍යෙෂ්ඨ නාවිකයා, වසර විසි දෙකක (22) සේවා කාලය නිමා කිරිමෙන් පසු 2026 දෙසැම්බර් මස 15 වැනි දින නාවික හමුදාවෙන් විශ්‍රාම ගැනීමට නියමිත බැවින්, නව නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි ලෙස, පාලක ප්‍රධාන සුළු නිලධාරි කේඑම්ඒඑස් කුමාරසිංහ යන ජ්‍යෙෂ්ඨ නාවිකයා මෙලෙස පත් කෙරිණි.

පාලක ප්‍රධාන සුළු නිලධාරි කේඑම්ඒඑස් කුමාරසිංහ 2005 වර්ෂයේ ජුනි මස 29 වැනි දින 127 වැනි ආධුනික බඳවා ගැනීම යටතේ නාවික හමුදාවට එක්ව ඇති අතර, නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි ලෙස පත්වීමට පෙර ඔහු ශ්‍රී ලංකා ‍නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ විනය පාලක ලෙස රාජකාරි කටයුතු කරනු ලැබීය.

නාවිකයන්ගේ සුභසාධන, පුහුණුවීම් සහ පරිපාලනමය කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීම සහ ගුණාත්මක භාවය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගැනීම සඳහා, නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි හට නිසි මඟින් කරුණු ඉදිරිපත් කිරීමට හැකියාව ඇති අතර, එම තනතුර සඳහා පත්වන ජ්‍යෙෂ්ඨ නාවිකයා විසින් රාජකාරි උත්සව, සරඹ සහ වෙනත් එවැනි අවස්ථාවන්හීදී නාවික හමුදාව නියෝජනය කරනු ලබන ජ්‍යෙෂ්ඨතම නාවිකයා ලෙස එම අවස්ථාවන් සඳහා සහභාගී වීමට හැකි වේ.

තවද, මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල රියර් අද්මිරාල් ඉන්දික ද සිල්වා සහභාගී වී සිටියහ.

Accessibility Tools