EVENT NEWS › 2026

දකුණු මුහුදේ දී රෝගී වූ ධීවරයෙකු නාවික හමුදාවේ කඩිනම් මැදිහත්වීමෙන් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කෙරේ

16 Nov 2026

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී හදිසි රෝගී තත්වයකට පත් වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු (01), කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදාව විසින් අද දින (2026 නොවැම්බර් 16) උදෑසන කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යොමු කරනු ලැබීය.

මීගමුව ධීවර වරායෙන් 2026 ඔක්තෝබර් මස 03 වැනි දින ධීවරයින් පස් දෙනෙකු (05) රැගත් ‘Mary 02’ (IMUL-A-0475 CHW) නමැති බහුදින ධීවර යාත්‍රාව හම්බන්තොට සිට නාවික සැතපුම් පන්සිය හතලිස් හයක (546) පමණ දුරින් දකුණු ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී, එම යාත්‍රාවේ ධීවරයෙකු (01) හදිසි රෝගී තත්වයකට ලක්ව ඇත. එම ධීවරයා වෙත කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ගොඩබිමට රැගෙන ඒමට අවශ්‍ය සහය ලබාදෙන ලෙස කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් සිදුකල දැනුම් දීමකට අනුව, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ ගමන් ගන්නා වෙළඳ නෞකා දැනුවත් කිරීමට එම මධ්‍යස්ථානය විසින් කටයුතු කෙරිණි. ඒ අනුව, ‘BW Helios’ නමැති වෙළඳ නෞකාව මඟින් හදිසි රෝගී තත්වයට පත් ධීවරයා එම නෞකාවට නිරුපද්‍රිතව ලබා ගැනීමට කටයුතු කෙරුණු අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා එම ධීවරයා ගොඩබිමට රැගෙන ඒම සඳහා 2026 නොවැම්බර් මස 15 වැනි දින දකුණු නාවික විධානයට අනුයුක්ත පී 411 දරන වේග ප්‍රහාරක යාත්‍රාව එම වෙළඳ නෞකාව වෙත යොමු කෙරිණි.

අනතුරුව, පී 411 යාත්‍රාව වෙත එම ධීවරයා (01) ලබා ගැනීමෙන් පසුව ඔහු වෙත, මූලික ප්‍රථමාධාර ලබාදෙමින් කඩිනමින් හම්බන්තොට වරාය වෙත රැගෙනවිත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙලෙස හම්බන්තොට මහ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

තවද, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් කලාපය තුළ ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාව වෙත කඩිනම් සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටියි.

Accessibility Tools