76 වැනි නාවික හමුදා සංවත්සර දින නිලධාරී සුහද හමුව වැලිසර Wave N’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී, උත්කර්ෂවත් අයුරින් පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 76 වැනි සංවත්සරය වෙනුවෙන් සර්ව ආගමික සහ නාවික හමුදා සම්ප්‍රදායන්ට මුල්තැන දෙමින් වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදා විසින් කටයුතු සංවිධානය කර ඇත. එම වැඩසටහන් මාලාවේ නිලධාරීන්ගේ සුහද හමුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, කෞෂල්‍යා ඕපාත ප්‍රනාන්දු මැතිණියගේ ආරාධනයෙන්, නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හා එම මැතිණියගේ ප්‍රධානත්වයෙන්, 2026 නොවැම්බර් මස 20 වැනි දින වැලිසර Wave N’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී උත්කර්ෂවත්ව පැවැත්විණි.
නාවික හමුදාවේ අභිමානවත් සංවත්සර දිනය නිමිත්තෙන්, නාවික හමුදාවෙන් විශ්‍රාම ලබා සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සියළුම නාවික විධානයන් නියෝජනය කරමින් පැමිණෙන සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් අතර සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණෙන් නාවික හමුදාව විසින් මෙම නිලධාරීන්ගේ සුහද හමුව වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.
ඒ අනුව, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හා එම මැතිණිය, හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ හා එම මැතිණිය, ශ්‍රී ලංකා පොලිස්පති, ප්‍රියන්ත වීරසූරිය, හිටපු නාවික හමුදාධිපතිවරුන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සහ සම්භාවනීය ආරාධිතයන් ගේ ගෞරවනීය සහභාගීත්වයෙන්, ‘Night Beneath the Waves’ යන තේමාව යටතේ පැවති මෙම සුහද හමුව ගායන, වාදන හා නර්තන අංගයන්ගෙන් වර්ණවත් විය.
එමෙන්ම, සංගීත ක්‍ෂේත්‍රයේ ප්‍රකට වාද්‍ය වෘන්දයක් වන ‘Warehouse’ සංගීත කණ්ඩායමේ සංගීතයෙන්, නාවික හමුදා වාදක හා නර්තන ශිල්පීන්ගේ මෙන්ම, දිවයිනේ ප්‍රකට නර්තන හා ගායන ශිල්පීන්ගේ දායකත්වයෙන් විචිත්‍රවත් වූ මෙම සුහද හමුවේ විවිධ තරඟ ඉසව්වන් සඳහා සහභාගි වීමට නිලධාරීන් හට අවස්ථාව ලබාදී තිබූ අතර, එම ඉසව්වන්ගේ ජයග්‍රාහාකයන් වෙත වටිනා ත්‍යාග පිරිනැමීමද එහිදී සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන ඇතුළු විධාන ආඥාපති වරුන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.













