නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් හසන්ත දසනායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් හසන්ත දසනායක අද දින (2026 නොවැම්බර් 15) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගන්නා ලදී.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ප්‍රමුඛ නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 55 වැනි උපන් දිනය යෙදී ඇති රියර් අද්මිරාල් හසන්ත දසනායක වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ, ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයින් රියර් අද්මිරාල් හසන්ත දසනායක වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.
1991 වසරේදී කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ 09 වැනි බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් හසන්ත දසනායක, සිය වසර 35 කට අධික සේවා කාලය තුළ; නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මොටර් රථ ඉංජිනේරු, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අධ්‍යයන උපදේශක, අධ්‍යක්‍ෂ ඉංජිනේරු සේවා, අධ්‍යක්‍ෂ නාවික නිර්මාණ, බටහිර, උතුර හා දකුණ යන නාවික විධානයන්ගේ කොමදෝරු අධිකාරි තටාකංගණය, අධ්‍යක්‍ෂ සාගරික ඉංජිනේරු සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු යන ප්‍රමුඛ නිල තල දරා ඇත.
එමෙන්ම, රියර් අද්මිරාල් හසන්ත දසනායක ‘නාවික උපායමාර්ගික දැක්ම 2030 හා ඉන් ඔබ්බට’ (NAVSTRAT – 2030 & BEYOND) යන නාවික හමුදාව ඉදිරියේදි හැකියාවන්ගෙන්, තාක්‍ෂණයෙන් සහ වෘත්තීය නිපුණ පිරිස් බලයෙන් යුතුව වෙනස් විය යුතු ආකාරය පිළිබඳව උපායමාර්ගික සැලැස්ම සම්පාදනය කිරීමේ කමිටුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස ද කටයුතු කර ඇති, නාවික හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.













