කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ ශිෂ්‍ය නායක දිනය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි
කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ ශිෂ්‍ය නායක දිනය වෙනුවෙන් සංවිධානය කල විශේෂ වැඩසටහනක් 2026 නොවැම්බර් මස 03 වැනි දින එම විද්‍යාල පරිශ්‍රයේදී අභිමානවත් අයුරින් පැවැත්වුණු අතර, එම විද්‍යාලයේ අධ්යක්ෂ බ්‍රිගේඩියර් අනිල් ප්‍රියදර්ශන සහ විද්‍යාලීය විදුහල්පතිනී මධූකා දෑසමන් ප්‍රනාන්දු මහත්මිය ඇතුළු ගුරු මණ්ඩලයේ ආරාධනයෙන්, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සහභාගී විය.
ඒ අනුව, ආරක්ෂක සේවා විද්‍යාලය වෙත පැමිණි නාවික හමුදාධිපති විද්‍යාලීය විදුහල්පති සහ විද්‍යාලයේ අධ්යක්ෂ විසින් උනුසුම් ලෙසින් පිළිගැනීමෙන් පසුව, විද්‍යාලයේ ශිෂ්‍යභට කණ්ඩායම විසින් නාවික හමුදාධිපති වෙත ආචාර පිරිනැමීම සිදුකෙරිණි. අනතුරුව, ආරක්ෂක සේවා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක සදෙව් ආකාෂ් විසින් නාවික හමුදාධිපති උත්සව සභාව වෙත කැඳවාගෙන යනු ලැබූ අතර, උත්සව සභාව වෙත නාවික හමුදාධිපති පිළිගැනීම වෙනුවෙන් විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍යනායක සදෙව් ආකාෂ් සිසුවා සහ ශිෂ්‍ය නායිකා ටනීෂා ඩියුමලී සිසුවිය විසින් පිළිගැනීමේ කතාව සිදුකරන ලදි. ඉන්පසුව, උත්සව සභාව අමතිමින් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ආරක්ෂක සේවා විද්‍යාලයේ ශිෂ්‍යනායක දිනය වෙනුවෙන් ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස සහභාගී වීමට ලැබීම ගෞරවයක් කොට සලකන බව පවසන ලදි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, වර්තමානයේ පාසල් දරුවන් සොයාගෙන පාසල් ආසන්නයටම පැමිණ ඇති මත්ද්‍රව්‍ය උවදුරෙන් දරුවන් රැක ගැනීම සඳහා ගුරුමණ්ඩලයට, දෙමාපියන් වෙත සහ ශිෂ්‍ය නායක මණ්ඩලය වෙත විශේෂ වගකීමක් පැවරී ඇති බවත්, ඒ වෙනුවෙන් ආරක්ෂක සේවා විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය ප්‍රශංසනීය කාර්යභාර්යයක් සිදුකරනු ලබන බවත් පවසන ලදි. විශේෂයෙන් මත්ද්‍රව්‍ය උවදුරෙන් රටේ අනාගත පරපුර මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව අනෙකුත් නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතන හා එක්ව සිදුකරනු ලබන කාර්යභාරයය පිළිබඳව සිසුදරුවන් වෙත පැහැදිලි කල නාවික හමුදාධිපති, දරුවන්ගේ අවධානය මත්ද්‍රව්‍ය භාවිතය සඳහා යොමු කිරීමට විවිධ ස්වරූපයෙන් සමාජයේ ක්‍රියාත්මක වනු ලබන පෙළඹවීම් කාරක පිළිබඳ ගුරුදෙගුරුන් සහ පාසල් දූදරුවන් විශේෂ අවධානයෙන් පසුවීම අවශ්‍ය බව අවධාරනය කෙරිණි.
සිය පාසල් කාලය පිළිබඳ එහිදී මතකය අවදිකල නාවික හමුදාධිපති, අතීතයේ ශිෂ්‍ය නායකයන් වෙත පාසල තුල තිබූ අභියෝගයන්ට වඩා වෙනස් ස්වරූපයේ අභියෝග වෙත වත්මන් ‘ජෙන් Z’ පරම්පරාවේ දරුවන්හට මුහුන දීමට සිදුවී ඇති බව ‘ජෙන් Z’ පරම්පරාවේ දරුවන් සමඟ කටයුතු කරනු ලබන පියෙකු ලෙස අවබෝධයක් ඇති බව පැවසූ නාවික හමුදාධිපති, ඒ සම්බන්ධයෙන් ගුරුදෙගුරුන් ගේ සහ ශිෂ්‍ය නායකයන්ගේ වැඩි අවධානයක් යොමුවිය යුතු බව පවසන ලදි.
ශිෂ්‍ය නායක නායිකාවන් තම ක්‍රියාවෙන් අන් අයට ආදර්ශයක් සැපයිය යුතු බව අවධාරණය කළ නාවික හමුදාධිපති; ශිෂ්‍ය නායක දුවා දරුවන් අන්‍යයන් වෙතින් අපේක්ෂා කරන ආදර්ශය ඔවුන්ගේ ක්‍රියාවෙන් පෙන්වන ලෙසත්, බලයට වඩා වගකීමටත්, තනතුරට වඩා සේවයටත් ප්‍රමුඛත්වය දෙන ලෙසත්, මිතුරන් අතර සමගිය, සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය ගෞරවය වර්ධනය කරන ලෙසත්, සෑම අවස්ථාවකදීම අවංකව සහ සාධාරණව කටයුතු කරන ලෙස සහ පැවරෙන වගකීම් උපරිම කැපවීමෙන් ඉටු කරමින් පාසලේ කීර්තිනාමය ආරක්ෂා කර ගන්නා ලෙස ශිෂ්‍ය නායක මණ්ඩලය වෙත අවධාරනය කර, ඔවුන් වෙත සාර්ථක අනාගතයක් ප්‍රාර්ථනා කරමින් සිය දේශනය අවසන් කළේය.
විද්‍යාලයේ ශිෂ්‍ය නායක දිනය වෙනුවෙන් සංවිධානය කල ‘Phoenix Labyrinth’ නායකත්ව ක්‍රියාකාරකම් වැඩසටහන සඳහා සහභාගි වී ජයග්‍රහනය කල සිසු දරුවන් වෙත සහතිකපත් ප්‍රධානය කිරීම සඳහාද නාවික හමුදාධිපති සහභාගි වු අතර, විද්‍යාලය වෙතින් නාවික හමුදාධිපති වෙත සමරුතිළිණයක් පිරිනැමීමද එහිදී සිදුකෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා ආරක්ෂක සේවා විද්‍යාලයේ පරිපාලන නියෝජ්‍ය අධ්යක්ෂ කර්නල් බන්දුල සේරසිංහ, නියෝජ්‍ය විදුහල්පතිවරුන් වන නිදාස්ථී අබේසේකර මහත්මිය (අධ්‍යාපන සංවර්ධන), අරෝෂ ජයසිංහ මහතා (ක්‍රීඩා හා විෂය සමගාමී), ක්‍රිශාන් මනෝජ් මහතා (ද්විතීයික අංශය), සහකාර විදුහල්පතිවරියන් වන කේ.ඩී. මංගලිකා, දිනුකා පෙරේරා සහ දර්ශිකා සිරිමාන්න මහත්මීන් ඇතුළු ආරක්ෂක සේවා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, සිසු දරුවන් සහ ආරාධිත පාසල්වල ශිෂ්‍ය නායක නායිකාවන් පිරිසක් එක්ව සිටියහ.













