ජාතික ආරක්ෂක විද්‍යායතනයේ 05 වැනි පාඨමාලාව සඳහා නාවික හමුදාධිපති විසින් ආරාධිත දේශනයක් පවත්වයි
කොළඹ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ ආඥාපති මේජර් ජෙනරාල්, චමිල මුණසිංහගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, ජාතික ආරක්ෂක විද්‍යායතනයේ පස්වන (05) ජාතික ආරක්ෂක පාඨමාලාව හදාරනු ලබන දේශිය හා විදේශීය ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් වෙනුවෙන්, ‘Preserving Sovereignty, Protecting Prosperity and Remaining Strategically Relevant in a Turbulent World ’ යන කාලීන තේමාව යටතේ අද දින (2026 නොවැම්බර් 04) ආරාධිත දේශනයක් පවත්වනු ලැබීය.
නාවික හමුදාධිපති විසින් සිදු කළ මෙම දේශනයේදී, වර්තමානයේ සංකීර්ණ හා අනපේක්ෂිත ගෝලීය ආරක්ෂක පරිසරය තුළ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, සමුද්‍රීය අවශ්‍යතා සහ ආර්ථික සමෘද්ධිය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සතු තීරණාත්මක කාර්යභාරය අවධාරණය කරනු ලැබීය. එහිදී නූතන ජාතික ආරක්ෂාව, සාම්ප්‍රදායික යුදමය තර්ජනයන්ට පමණක් සීමා නොවන බව පෙන්වා දුන් නාවික හමුදාධිපති, තාක්ෂණික දියුණුව, සයිබර් තර්ජන, ගෝලීය සැපයුම් දාමයන්හි බිඳවැටීම්, බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ ගැටලු සහ භූදේශපාලනික අර්බුද වැනි කරුණු ද ජාතික ආරක්ෂාවට සෘජුව බලපාන බව සඳහන් කළේය. එමෙන්ම, ජාත්‍යන්තර ගැටුම් සහ ප්‍රධාන සමුද්‍රීය නාවික ගමන් මාර්ගයන්ගේ ඇතිවන බාධා හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි ජාත්‍යන්තර ආර්ථික සබඳතා මත රඳා පවතින කුඩා රාජ්‍යයන් මුහුණ දෙන අවදානම් තත්ත්වයන් ද එහිදී නාවික හමුදාධිපති විසින් පැහැදිලි කරන ලදී.
ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකාවට හිමි උපායමාර්ගික භූගෝලීය පිහිටීම සහ ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටා ඇති ලොව නැගෙනහිර සහ බටහිර යා කෙරෙණ ප්‍රධාන ජාත්‍යන්තර නාවික ගමන් මාර්ගය වෙත ඇති සමීපත්වය පෙන්වා දුන් නාවික හමුදාධිපති, එමඟින් වරාය මෙහෙයුම්, නාවික ප්‍රවාහනය, සැපයුම් හා සේවා සහ සමුද්‍රීය සේවා ක්ෂේත්රයන්හි විශාල ආර්ථික අවස්ථා උදාකර ගත හැකි බවත්, එම අවස්ථාවන් ප්‍රයෝජනයට ගැනීම සඳහා ශක්තිමත් සමුද්‍රීය ආරක්ෂක පරිසරයක්, යටිතල පහසුකම් සංවර්ධනය සහ විධිමත් ජාතික ප්‍රතිපත්ති අත්‍යවශ්‍ය බවත් පෙන්වා දෙනු ලැබීය.
කුඩා රාජ්‍යයන් මුහුණ දෙන ප්‍රධාන උපායමාර්ගික අභියෝග හතරක් ලෙස; තාක්ෂණික පරතරය පුළුල් වීම, ප්‍රධාන බලවතුන් අතර තීව්ර වන භූදේශපාලනික තරඟකාරිත්වය, දේශගුණික විපර්යාස හා ස්වාභාවික ආපදා සහ තොරතුරු පරිසරයේ පවතින අවදානම් තත්ත්වයන් ප්රමුඛ වන බව පෙන්වාදුන් නාවික හමුදාධිපති, මෙම අභියෝග වෙත සාර්ථකව මුහුණ දීම සඳහා තාක්ෂණික අනුවර්තනය, උපායමාර්ගික ස්වාධීනත්වය, ඵලදායී ජාත්‍යන්තර සහයෝගීතාව, ආපදා සූදානම සහ රාජ්‍ය ආයතන කෙරෙහි මහජන විශ්වාසය තහවුරු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. විශේෂයෙන්, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක, රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික, තාක්ෂණික, සිවිල් පරිපාලන සහ මහජන සන්නිවේදන ක්ෂේත්රයන්හි මනා සම්බන්ධීකරණයක් සහිත සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයක දායකත්වය අත්‍යවශ්‍ය බව එහිදී පෙන්වා දෙනු ලැබීය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යභාරය පිළිබඳව අදහස් දක්වමින්, නාවික හමුදාව සිදුකරනු ලබන මෙහෙයුම් සහ ක්‍රියාකාරකම් සංඛ්‍යාව මත පමණක් අවධානය යොමු නොකර, ඒ තුළින් ජාතික ආරක්ෂාවට සහ සමුද්‍රීය අවශ්‍යතාවන්ට අත්වන සැබෑ උපායමාර්ගික ප්‍රතිඵල මත නාවික හමුදාවේ කාර්යසාධනය ඇගයිය යුතු බව සිය දේශනයේදී අවධාරණය කල නාවික හමුදාධිපති, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ප්රවේශයන් ආරක්ෂා කිරීම, සමුද්‍රීය තත්ත්ව පිළිබඳ දැනුවත්භාවය ශක්තිමත් කිරීම, සමුද්‍රීය නීතිය ක්‍රියාත්මක කිරීමට සහාය වීම, නීතිවිරෝධී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම, ආපදාවට පත් ධීවර හා නාවික ප්‍රජාව වෙත සහන සැලසීම මෙන්ම, ජාත්‍යන්තර සමුද්‍රීය වෙළෙඳ කටයුතු සඳහා ආරක්ෂිත පරිසරයක් පවත්වාගෙන යාම නාවික හමුදාවේ ප්‍රධාන වගකීම් ලෙස පෙන්වා දුන්නේය.
ඒ සඳහා අවශ්‍ය, අඛණ්ඩ පුහුණුව, නෞකා හා උපකරණ නිසි නඩත්තුව, වෘත්තීය නායකත්වය, සම්පත් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම, අන්තර් ක්‍රියාකාරී හැකියාවන් වර්ධනය කිරීම සහ අත්දැකීම් තුළින් අඛණ්ඩව ඉගෙන ගනිමින් නව තත්ත්වයන්ට අනුවර්තනය වීම තුළින් විශ්වසනීය මෙහෙයුම් සූදානමක් ගොඩනැගීමේ වැදගත්කම ද එහිදී අවධාරණය කළේය.
ප්‍රධාන නාවික බලවතුන්ගේ ප්‍රමාණය හෝ හැකියාවන් අනුකරණය කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාවේ අරමුණ නොවිය යුතු බවත්, ඒ වෙනුවට රටේ උපායමාර්ගික අවශ්‍යතාවන්ට ගැළපෙන වෘත්තීයමය, කාර්යක්ෂම සහ විශ්වසනීය නාවික හමුදාවක් ගොඩනැගීම ප්රමුඛ අරමුණ විය යුතු බවත් සිය දේශනයේදී අවධාරණය කළ නාවික හමුදාධිපති, ස්වෛරීභාවය ආරක්ෂා කිරීම, සමුද්‍රීය අවශ්‍යතා සුරක්ෂිත කිරීම සහ ජාතික ආරක්ෂාව හා සමෘද්ධිය වෙනුවෙන් දායක වීම නාවික හමුදාවේ ශක්තියේ සැබෑ මිනුම් දණ්ඩ බව පෙන්වා දෙමින් ඉන් ඔබ්බට යන උපායමාර්ගික දැක්මට අනුකූලව ශ්‍රී ලංකාවට අවශ්‍ය නාවික හමුදාවක් ගොඩනැගීමේ වැදගත්කම අවධාරණය කරමින්, සිය දේශනය සාර්ථකව අවසන් කළේය.
තවද, එම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සහ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ ආඥාපති, මේජර් ජෙනරාල්, චමිල මුණසිංහ අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.













