EVENT NEWS › 2026

අන්තර් විධාන ගොඩබිම් සටන් තරඟාවලිය සාර්ථකව නිමාවට පත් වෙයි

16 Nov 2026

අන්තර් විධාන ගොඩබිම් සටන් තරඟාවලිය, 2026 නොවැම්බර් මස 07 සිට 15 දක්වා ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේදී සාර්ථකව පැවැත්වුණු අතර, එහි සමස්ථ ශූරතාවය උතුරු මැද නාවික විධානය විසින් දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව, මෙම තරඟාවලිය සඳහා සියළුම නාවික විධාන නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකසිය හැට එක්දෙනෙකු (161) සහභාගී වූහ. එහිදී විශේෂ මෙහෙයුම් කණ්ඩායම් (SOP) අතර පැවති තරඟයන්ගෙන්; ශාරීරික යෝග්‍යතාවය හා විඳදරා ගැනීම, ක්‍ෂේත්‍ර ශිල්පය සහ මූලික යුද උපක්‍රම, සංග්‍රාමික ‍වෙඩි තැබීම යන අංශයන්ගෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ උතුරු මැද නාවික විධානය 2026 ගොඩබිම් සටන් තරඟාවලියේ සමස්ථ ශූරතාවය මෙලෙස හිමිකර ගැනීමට සමත්වූ අතර, එහි අනුශූරතාවය බටහිර නාවික විධානයට හිමි විය.

එමෙන්ම, මූලික ගොඩබිම් පුහුණුව ලැබූ ආධුනික නාවිකයන්ගේ (OJT) කණ්ඩායම් අතර පැවති තරඟයන්ගෙන්; ශාරීරික යෝග්‍යතාවය, ක්‍ෂේත්‍ර ශිල්පය හා මූලික යුද උපක්‍රම සහ සංග්‍රාමික ‍වෙඩි තැබීම යන අංශයන්ගෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ උතුරු මැද නාවික විධානය එහි සමස්ථ ශූරතාවයත්, දකුණු නාවික විධානය එහි අනුශූරතාවයත් හිමි කර ගැනීමට සමත් විය.

තරඟාවලියේදී, විශේෂ මෙහෙයුම් කාණ්ඩය යටතේ හොඳම වෙඩික්කරුවා ලෙස බටහිර නාවික විධානය නියෝජනය කල සුළු නිලධාරී එච්ආර්අයිපීඑස් හපුවිට තේරීපත් වූ අතර, මූලික ගොඩබිම් පුහුණුව ලැබූ ආධුනික නාවිකයන්ගේ කාණ්ඩයේ හොඳම වෙඩික්කරුවා ලෙස ගිණිකොන නාවික විධානය නියෝජනය කල සාමන්‍ය නැවි වයිඑම්එන්එම් චන්ද්‍රසේකර තේරීපත් විය.

තවද, මෙම තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ප්‍රේමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ නාවික පාබල කොමදෝරු විරාජ් දංගම්පල සහ නියෝජ්‍ය අධ්‍යෂක නාවික පාබල කපිතාන් සුමේධ හිටිනායක ඇතුළු නාවික හමුදා නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගි වි සිටියහ.

Accessibility Tools