EVENT NEWS › 2026

ඉන්දියාවේදී අභාවප්‍රාප්ත වූ කොමාණ්ඩර් සමීර සමරකෝන් නිලධාරියාගේ දේහය දිවයිනට රැගෙන එයි

04 Nov 2026

‘BIMSTEC – 2026’ සමුද්‍රීය ආරක්ෂක අභ්‍යාසය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ ජ්‍යෙෂ්ඨ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු නිලධාරියා ලෙස කටයුතු කළ කොමාණ්ඩර් සමීර සමරකෝන්, හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉන්දියාවේ අන්දමන් සහ නිකොබාර් දූපත්හි ශ්‍රී විජයපුරම් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී 2026 නොවැම්බර් මස 02 වන දින අභාවප්‍රාප්ත විය.

ඒ අනුව, කොමාණ්ඩර් සමීර සමරකෝන් නිලධාරියාගේ දේහය වෙත ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් අශෝක වීරසේකර ඇතුළු කාර්යය මණ්ඩලය විසින් සහ ඉන්දීය නාවික හමුදාව විසින් අවසන් ගෞරවාචාර සිදුකිරීමෙන් අනතුරුව, ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් 2026 නොවැම්බර් මස 03 වන දින දිවයිනට රැගෙන එනු ලැබීය.

2006 දෙසැම්බර් මස 14 වන දින, 45 වන ශිෂ්‍යභට බඳවා ගැනීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වූ කොමාණ්ඩර් සමීර සමරකෝන්, මූලික පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව, 2008 දෙසැම්බර් මස 14 වන දින උප ලුතිනන් නිලයේ අධිකාරියට පත්විය. එතැන් සිට නාවික හමුදාවේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු අංශයේ නිලධාරියෙකු ලෙස විවිධ නෞකා සහ ආයතනයන්හි රාජකාරි ඉටු කළ ඔහු, සිය සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් 2024 අප්‍රේල් මස 01 වන දින කොමාණ්ඩර් නිලයට උසස්වීම් ලැබූ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ දක්ෂ නිලධාරියෙකු විය.

අභාවප්‍රාප්ත වූ කොමාණ්ඩර් සමීර සමරකෝන් නිලධාරියාගේ දේහය කඩිනමින් දිවයිනට රැගෙන ඒම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කළ ශ්‍රී ලංකාවේ ගරු ඉන්දීය මහකොමසාරිස්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය වෙතත්, ඉන්දීය නාවික හමුදාව හා ගුවන් හමුදාව වෙතත්, එම නිලධාරියාට ශ්‍රී විජයපුරම්හිදී ප්‍රතිකාර ලබාදුන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙතත් ශ්‍රී ලංකා නාවික හමුදාව සිය කෘතඥතාව පළ කර සිටියි.

තවද, කොමාණ්ඩර් සමීර සමරකෝන් නිලධාරියාගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ සමීපතමයන් වෙත සිය බලවත් ශෝකය ප්‍රකාශ කර සිටින අතර, එම නිලධාරියාගේ අවසන් කටයුතු නාවික හමුදා පූර්ණ ගෞරවාචාර සහිතව සිදු කිරීමට නියමිතය.

Accessibility Tools