76 වැනි නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කල නාවිකයන්ගේ සුහද හමුව වැලිසරදී
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 76 වැනි සංවත්සර දිනය සැමරීම වෙනුවෙන් සංවිධානය කෙරුණු නාවිකයන්ගේ සුහද හමුව අද දින (2026 නොවැම්බර් 06) වැලිසර ‘Wave N’ Lake’ නාවික හමුදා උත්සව ශාලාවේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්විණි.
ඒ අනුව, නාවික හමුදා සංස්කෘතික වාදක හා නර්තන වෘන්දයේ ගායන, වාදන සහ නර්තන අංගයන් ගෙන් විචිත්‍රවත් වූ මෙම සුහද හමුවේදී, විශ්‍රාමික නාවික හමුදා පුද්ගලයන් සහ සියළුම නාවික විධාන නියෝජනය කරමින් පැමිණි සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් හට තම සේවා අත් දැකීම් හුවමාරු කර ගැනීමටද එහිදී අවස්ථාව උදාවිය.
එහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, 1950 වර්ෂයේ ආරම්භ වූ ශ්‍රී ලංකා නාවික හමුදාව, මාතෘභූමියේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ සමුද්‍රීය ආරක්ෂාව වෙනුවෙන් වසර හැත්තෑ හයක් (76) ක් පුරා සුවිශේෂී මෙහෙවරක් ඉටුකර ඇති බවත්, වර්තමානයේ ‘නාවික උපායමාර්ගික සැලැස්ම 2030 සහ ඉන් ඔබ්බට’ යන ඉදිරි දැක්ම යටතේ නාවික හමුදාව අනාගත සමුද්‍රීය අභියෝගයන්ට මුහුණදීම සඳහා අවශ්‍ය හැකියාවන්, නවීන තාක්ෂණය සහ වෘත්තීය නිපුණ පිරිස් බලයකින් යුතුව වර්ධනය වෙමින් තිබෙන බවත් ප්‍රකාශ කළේය.
සාම්ප්‍රදායික සමුද්‍රීය ආරක්ෂක රාජකාරීන්ට අමතරව ජාතික හා ජාත්‍යන්තර වගකීම් රැසක් ඉටුකරන නාවික හමුදාව, 'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ සිදුකල මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් මඟින් වසරක කාලයක් තුළ රුපියල් බිලියන එකසිය දහහතරකට (114) අධික වීථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති බව පැවසූ නාවික හමුදාධිපති, ස්වාභාවික ආපදා අවස්ථාවන්හිදී මානුෂීය ආධාර හා ආපදා සහන සැලසීම සඳහා ද නාවික හමුදාව පෙරමුණ ගෙන කටයුතු කරන බව ප්‍රකාශ කළේය.
එමෙන්ම, නාවිකයන්ගේ සුබසාධනය ඉහළ නැංවීමේ අරමුණින් විවාහක නිවාස ගැටලුව ඇතුළු සුබසාධන ගැටලු සඳහා කඩිනම් හා ප්‍රායෝගික විසඳුම් ලබාදීමට කටයුතු කරන බව එහිදී අවධාරණය කල නාවික හමුදාධිපති, නාවික හමුදාවේ මෙහෙයුම් සූදානම අඛණ්ඩව පවත්වාගෙන යාම, ඒ සඳහා අවශ්‍ය පරිපාලන ව්‍යුහය ශක්තිමත් කිරීම සහ නාවික හමුදා පුද්ගලයන්ගේ හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ මෙන්ම, විශ්‍රාමික හා රණවිරු පවුල් වල සාමාජිකයන්ගේ සුබසාධනය ප්රශස්ත මට්ටමට ගෙන ඒම සිය ඉදිරි දැක්ම බවත්, ජාතික ආරක්ෂාව තහවුරු කරමින් සුරක්ෂිත, ආරක්ෂිත සහ සමෘද්ධිමත් සාගර කලාපයක් පවත්වාගෙන යාම සඳහා සියලු නාවික හමුදා සාමාජිකයන්ගේ උපරිම දායකත්වය අපේක්ෂා කරන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරී ඒඑච්ඩී වීරතුංග, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නාවිකයන් වෙනුවෙන් පාලක ප්‍රධාන සුළු නිලධාරී ආර්සීකේ හෙට්ටිආරච්චි (විශ්‍රාමික) සහ කාන්තා පාලක ප්‍රධාන සුළු නිලධාරී යුඑස් රොද්‍රිගු (විශ්‍රාමික) යන ජ්‍යෙෂ්ඨ නාවික පුද්ගලයන් විසින් සුහද හමුව අමතා වත්මන් නාවිකයින් දිරිගන්වමින් සිය සේවා අත්දැකීම් පිළිබඳ අදහස් දක්වනු ලැබය.
තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා කළමනාකරණ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, විශ්‍රාමික නාවික හමුදා පුද්ගලයින්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් සහ කාන්තා නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.













