EVENT NEWS › 2026

ශ්‍රි ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 265 වැනි බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 323ක් පූනෑවේදී විසිර යයි

10 Oct 2026

ශ්‍රි ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 265 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් තුන්සිය එක් දෙනෙකු (301) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් විසි දෙදෙනෙකු (22) ඇතුළු ආධුනික නාවිකයින් තුන්සිය විසිතුන් දෙනෙකු (323) සිය මූලික පුහුණුව සාර්ථකව අවසන් කර, 2026 ඔක්තෝබර් මස 10 වැනි දින පූනෑව, ශ්‍රි ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යාම සිදුකෙරිණි.

ශ්‍රි ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ආඥාපති හා අණදෙන නිලධාරී, කපිතාන් කැළුම් මාරඹගේ ගේ ආරාධනයෙන්, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

මෙම විසිරයාමේ පෙළපාලියේදී, ශික්‍ෂා ආයතනයේදී සිදුකෙරුණු න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ ආධුනික නාවිකයින් වෙත කුසලාන ප්‍රදානය කිරීම, ප්‍රධාන ආරාධිතයා විසින් සිදු කෙරිණි. ඒ අනුව, 265 වන බඳවා ගැනීම යටතේ විසිර යන ලද ආධුනික නාවිකයින් තුන්සිය විසිතුන් දෙනෙකු (323) අතරින් විශිෂ්ටතම ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි (කාන්තා) ආර්එස් ගිද්දවගේ විසින් හිමිකර ගනු ලැබීය. එමෙන්ම, සියලුම විෂයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි ආර්පීඑස් කරුණාරත්න විසින්ද, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ආධුනික නැවි එස්ජීජීකේ විජේරත්න විසින්ද, දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය ආධුනික නැවි (කාන්තා) කේඩබ්ඒඅයි සඳමාලි විසින් සහ දක්‍ෂතම ඉලක්කකරුට හිමි කුසලානය ආධුනික නැවි එම්බීජීසීඑන් බැද්දේවෙලගේ විසින් හිමි කර ගත් අතර, 265 වන ආධුනික බඳවා ගැනීමට අයත් දක්‍ෂතම අංශයට හිමි කුසලානය ‘සයුරළ’ අංශය විසින් හිමි කර ගනු ලැබීය.

මෙහිදී විසිර යන ආධුනික නාවිකයන් ඇමතූ රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, 265 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් වෙත ප්‍රථමයෙන් සිය සුභපැතුම් පිරිනමනු ලැබීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, නාවික හමුදාවට එක්වන ආධුනික නාවිකයන්ගේ අධ්‍යාපනික, වෘත්තීයමය හෝ සමාජීය අනන්‍යතාවය කුමක් වුවද, විසිර යාමෙන් පසුව ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයෙකු ලෙස ආධුනික නාවිකයන්ගේ ක්‍රියාකාරකම් දෙස ලෝකය බලා සිටින බැවින්, නාවික හමුදාවේ ගෞරවය සුරැකෙන අයුරින් කටයුතු කිරීම සඳහා විශාල වගකීමක් පැවරෙන බව පවසනු ලැබීය.

තොරතුරු තාක්ෂණය, සන්නිවේදන පද්ධති, නිරීක්ෂණ තාක්ෂණය, දත්ත විශ්ලේෂණය, කෘත්‍රීම බුද්ධිය සහ නවීන සමුද්‍රීය තාක්ෂණයන් සමඟ නාවික හමුදාවේ වෙනස්වන මෙහෙයුම් පරිසරය තුල රාජකාරි කිරීමට අවශ්‍ය තාක්ෂනික දැණුම වැඩිදියුණු කරගනිමින් එම දැනුම නිවැරදිව භාවිතා කර, විසිර යන ආධුනික නාවිකයන් නාවික හමුදාවේ අනාගතය නිර්මාණය කරන පරම්පරාවක් විය යුතු බවත්, සමාජ මාධ්‍ය භාවිතයේදී නාවික හමුදාවේ කීර්තියට හානි නොවන ලෙස වගකීමෙන් කටයුතු කල යුතු බවත්, නාවික හමුදා සාමාජිකයෙකු ලෙස විනය, නීතියට ගරු කිරීම සහ වගකීම යන මූලධර්ම මත පදනම් වෙමින් කටයුතු කල යුතු බවත් අවධාරණය කල රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, විසිර යන ආධුනික නාවිකයන් වෙත ඉදිරියේදී ශ්‍රී ලංකාව වටා ඇති විශාල සමුද්‍රීය කලාපය තුළ රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ භාරදූර වගකීම පැවරෙනු ඇති බවත් පවසන ලදී. විශේෂයෙන්, සාගරය ඔස්සේ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම, සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුම් සිදුකිරීම, මුහුදේදී ආපදාවට පත්වන ධීවර හා නාවික ප්‍රජාව වෙත සහන සැලසීම, ස්වභාවික ආපදා අවස්ථාවන්හිදී ආපදාවට පත් වන ජනතාව වෙනුවෙන්

මානුෂීය ආධාර හා ආපදා සහන මෙහෙයුම් සිදුකිරීම වැනි පුළුල් පරාසයක මෙහෙයුම් සඳහා ඉදිරියේදී විසිර යන ආධුනික නාවිකයන් දායකවනු ඇති බවත්, එම මෙහෙයුම් තුලින් ලබන අත්දැකීම්, දැනුම, කුසලතාව, විනය, අවංක භාවය සහ කණ්ඩායම් හැඟීම ආධුනික නාවිකයන්ගේ වෘත්තීය ජීවිතයේ ප්‍රධාන ශක්තීන් බවට පත් කර ගත යුතු බවත් අවධාරණය කල ඔහු, විසිර යන ආධුනික කාන්තා නාවිකයන් හටද සමාන වෘත්තීයමය අවස්ථා හා වගකීම් හිමි හිමිවන බවත්, තම හැකියාවන් පිළිබඳ විශ්වාසය තබා, පැවරෙන සෑම වගකීමක්ම විශිෂ්ට ලෙස ඉටු කරන ලෙසත් පවසනු ලැබීය.

එමෙන්ම, ආධුනික නාවිකයන් නාවික හමුදාවට එක්වීම සඳහා දිරිමත් කරමින්, ඔවුන්ට ශක්තිය ලබාදුන් විසිර යන ආධුනික නාවිකයන්ගේ දෙමව්පියන් වෙත සිය ගෞරවනීය ස්තුතිය පුද කරන බව පැවසූ රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, අභිමානවත් විසිරයාමේ පෙළපාලියක් සාර්ථකව සංවිධානය කිරීම සඳහා කැප වූ ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ආඥාපති ඇතුළු සියලුම නිලධාරීන්, නාවිකයන් සහ උපදේශක කාර්ය මණ්ඩලයටත්, උතුරු මැද නාවික ප්‍රදේශයේ ආඥාපති ඇතුළු සියළුම පාර්ශ්වයන්ටත් එහිදී සිය ප්‍රණාමය පලකරනු ලැබීය.

ආධුනික නාවිකයන් විසිරයාමේ රාත්‍රී පෙළපාලියකදී සිදුකරන ලද පලමු පැරෂුට් සංදර්ශණය මෙම විසිරයාමේ පෙළපාලියේදී පැවැත්වුණු අතර, මෙම සංදර්ශණය සඳහා විශේෂ යාත්‍රා බළඝණයේ කොමාණ්ඩර් තිස්ස කුමාර සහ සමූහ ප්‍රධාන සුළු නිලධාරී කේසීඑම්කේ ගීකියනගේ සහභාගී වූහ. එමෙන්ම, 265 වැනි බඳවා ගැනීමට අයත් විසිර යන ලද ආධුනික නාවිකයන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණු දර්ශනීය සරඹ සංදර්ශනයකින් සහ නාවික හමුදා තුර්යවාදක කණ්ඩායම හා සංස්කෘතික නර්තන කණ්ඩායම විසින් ඉදිරිපත් කල විචිත්‍රවත් සංදර්ශනයකින් මෙන්ම, නාවික හමුදා අංගම් හරඹ සංචිතයේ සංදර්ශණයකින්ද වර්ණවත් වූ මෙම විසිරයාමේ පෙළපාලිය සාම්ප්‍රදායික හිරු අස්ථවිය චාරිත්‍රයෙන් අනතුරුව නිමාවට පත්විය.

තවද, මෙම විසිරයෑමේ පෙළපාලිය සඳහා උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඉන්දික ද සිල්වා, අධ්‍යක්‍ෂ නාවික පුද්ගල කොමදෝරු මනෝජ් ලීලාරත්න ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ උතුරු මැද නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ධජ නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ පුහුණු විධායක කොමාණ්ඩර් කසුන් නුවරපක්‍ෂ ඇතුළු උතුරු මැද නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන්, ආරාධිතයින්, ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නාවිකයින් සහ විසිර ගිය ආධුනික නාවිකයින්ගේ දෙමාපියන් පිරිසක් සහභාගී වී සිටියහ.

Accessibility Tools