‘COs Conclave – 2026’ සාර්ථකව නිමාවට පත්වෙයි

16 Oct 2026

2026 වර්ෂයට අදාලව, නාවික හමුදාවේ අණදෙන සහ අණභාර නිලධාරීන් සමඟ නාවික හමුදාධිපති විසින් වාර්ෂිකව සිදුකෙරෙණ විශේෂ සාකච්ඡාව (COs Conclave - 2026), නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ඇතුළු අධ්‍යක්‍ෂ ජෙනරාල් වරුන්ගේ සහභාගීත්වයෙන්, අද දින (2026 ඔක්තෝබර් 16) නාවික හමුදා මූලස්ථානයේදී සාර්ථකව පවත්වණු ලැබීය.

ඒ අනුව, සුරක්‍ෂිත, ආරක්‍ෂිත හා සමෘද්ධිමත් ස්ථාවර සාගර කලාපයක් පවත්වා ගැනීමේ ජාතික සමුද්‍රීය අභිලාසය සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සියළුම අංශ උපරිම කාර්යක්‍ෂමතාවයෙන් සහ ඵලදායිතාවයෙන් යුතුව පවත්වා ගැනීම වෙනුවෙන්; උපායික, මෙහෙයුම් සහ උපායමාර්ගික මට්ටමෙන් ගතයුතු තීන්දු හා තීරණ, අණදෙන හා අණභාර නිලධාරීන්ගේ මෙහෙයුම් අත්දැකීම් සම්බන්ධයෙන් මෙම විශේෂ සාකච්ඡාවේදී අවධානය යොමු කෙරේ. එමෙන්ම, වෙනස්වන මෙහෙයුම් පරිසරයේ නව ප්‍රවනතා හා ගැටළු, නාවික හමුදාවේ ප්‍රතිපත්ති හා සැලසුම් සහ නීතිමය රාමුව පිළිබඳව නැව්පති සහ නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය සමඟ සෘජු ප්‍රවේශයකින් සාකච්ඡා කිරීම සඳහා මෙම විශේෂ සාකච්ඡාව සඳහා සහභාගි වූ නාවික බළඇණිය, 4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමූහය, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු මුර සංචාරක යාත්‍රා සහ ගොඩබිම් ආයතනයන්ගේ අණදෙන සහ අණභාර නිලධාරීන් හට අවස්ථාව හිමි විය.

තවද, වාර්ෂිකව පැවැත්වෙන මෙම විශේෂ සාකච්ඡාව මඟින් නාවික හමුදාවේ මෙහෙයුම් අභිප්‍රායට අනුකූලව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ යාත්‍රා ඇතුළු නාවික හමුදා නෞකා බළඇණියේ මෙන්ම, ගොඩබිම් ආයතනයන්ගේ මෙහෙයුම් සුදානම අඛණ්ඩව පවත්වා ගැනීම, නාවික හමුදාව අපේක්‍ෂා කෙරේ.

Accessibility Tools