EVENT NEWS › 2026

ඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් ‘INS TIR’, ‘INS SUJATA’ සහ ‘ICGS SARATHI’ නෞකා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි

26 Oct 2026

ඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් ‘INS TIR’, ‘INS SUJATA’ සහ ‘ICGS SARATHI’ නෞකා නිල සංචාරයක් සඳහා අද දින (2026 ඔක්තෝබර් 26) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකා නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

පුහුණුව ලබන නිලධාරීන් එකසිය තිස්පස් දෙනෙකු (135) සමඟින්, කොළඹ වරායට පැමිණි ‘Training Ship’ වර්ගයට අයත් ‘INS TIR’ නෞකාව, දිගින් මීටර් 107 ක් වන අතර, එම නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් Tijo K Joseph විසින් ද, දිගින් මීටර් 102 ක් වන OPV වර්ගයට අයත් ‘INS SUJATA’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් Jishnu Madhavan විසින් සහ දිගින් මීටර් 105 ක් වන CG OPV වර්ගයට අයත් ‘ICGS SARATHI’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස Commandant Kundan Singh විසින් කටයුතු කරනු ලබයි. එම අණදෙන නිලධාරීන් සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා අතර නිල හමුවක් එම විධාන මූලස්ථානයේදී අද දින (2026 ඔක්තෝබර් 26) පැවැත්වුණු අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරු කර ගැනීමද එහිදී සිදුකෙරිණි.

එමෙන්ම, මෙම නෞකාවන් දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල, එහි නැව් මුළුවන් සහ පුහුණුවන නිලධාරීන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහන් සඳහා සහභාගී වීමට නියමිතව ඇති අතර, එම නෞකාවන්ගේ පැවැත්වෙණ පුහුණු හුවමාරු වැඩසටහන් සහ නිරීක්‍ෂණ සංචාර සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකා නාවික හමුදා පුහුණුවන නිලධාරීන් වෙතද අවස්ථාව හිමිවේ.

තවද, මෙම නෞකාවන්ගේ කාර්යමණ්ඩල සහ පුහුණුවන නිලධාරීන් දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.

Accessibility Tools