EVENT NEWS › 2026

කල්පිටිය මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධිවර කටයුතු මැඩලීම ශක්තිමත් කිරීම සඳහා නාවික හමුදාව, රාජ්‍ය ආයතන සහ කල්පිටිය ප්‍රදේශයේ ධීවර ප්‍රජාව එක්වෙයි

13 Oct 2026

නිති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවන අහිතකර බලපෑම සහ මුහුදු මාර්ග ඔස්සේ සිදුවන නීති විරෝධී කටයුතු පිළිබඳව කල්පිටිය ප්‍රදේශයේ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්, පුත්තලම දිස්ත්‍රීක් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා, වයඹ නාවික විධානයේ නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනයන්ගේ සහ කල්පිටිය ප්‍රදේශයේ ධීවර සංගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්, 2026 ඔක්තෝබර් මස 13 වැනි දින ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයේදී සාර්ථකව පැවැත්විණි.

ඒ අනුව, කල්පිටිය ආශ්‍රිත මුහුදේ නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම, මසුන් ඇල්ලීමේ සම්මත පන්න ක්‍රම භාවිතය ප්‍රවර්ධනය කිරීම, නීති විරෝධි කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් සඳහා අවශ්‍ය තොරතුරු බෙදා ගැනීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ සමුද්‍රීය ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් සහයෝගී ප්‍රවේශයකිත් කටයුතු කිරීම පිළිබඳ ධීවර ප්‍රජාව දැනුවත් කිරීම මෙම විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන මඟින් සිදු කෙරිණි.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා පුත්තලම අතිරේක දිස්ත්‍රීක් ලේකම් (ඉඩම්), කල්පිටිය ප්‍රාදේශීය ලේකම්, කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති, කල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, ශ්‍රී ලංකා නාවික ‍නෞකා විජය ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් මහේෂ් කුලසිරි ඇතුළු වයඹ නාවික විධානයේ අණදෙන නිලධාරීන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්, වන සංරක්‍ෂණ, සමුද්‍රීය පරිසර, වනජීවී, වෙරළ සංරක්‍ෂණ, ධීවර හා ජලජ සම්පත් සහ ප්‍රදේශයේ ධීවර සමිති නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටියහ.

Accessibility Tools