නීති විරෝධී ධිවර කටයුතු මැඩලීමට නාවික හමුදාව, රාජ්‍ය ආයතන සහ ත්‍රිකුණාමලය ධිවර ප්‍රජාව පෙරමුණ ගනී
නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් සමුද්‍රීය පරිසරයට, සංචාරක කර්මාන්තයට සහ අනාගත පරපුරට සිදුවන අහිතකර බලපෑම පිළිබඳව නැගෙනහිර පළාතේ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන් සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු නිලධාරීන් හා නැගෙනහිර පළාත් ධීවර සංගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්, අද දින (2026 ඔක්තෝබර් 06) ත්‍රීකුණාමලය නාවික තටාකාංගනයේදී පැවැත්විණි.
ඒ අනුව, නැගෙනහිර මුහුදේ නීති විරෝධි ධීවර කටයුතු මැඩපැවැත්වීම, නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් සිදුවන අහිතකර බලපෑම, මසුන් ඇල්ලීමේ සම්මත පන්න ක්‍රම භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ අනාගත පරපුර වෙනුවෙන් සමුද්‍රීය පරිසරය රැකදීම පිළිබඳ ධීවර ප්‍රජාව දැනුවත් කිරීම මෙම විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන මඟින් අපේක්‍ෂා කෙරිණි.
එමෙන්ම, මෙම නීති විරෝධි ධීවර ගැටළු නිසි ලෙස විසඳා නොගතහොත් අනාගතයේදී ඇතිවිය හැකි අයහපත් ප්‍රතිවිපාක මෙන්ම, පවත්නා නීතිමය රාමුව පිළිබඳව ධීවර ප්‍රජාව දැනුවත් කිරීමද එහිදී සිදු කෙරුණි. තවද, නීත්‍යානූකූලව ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන්ගේ ඉල්ලීම් සහ ගැටළුද දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡාවට භාජනය කරන ලදි.
මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා නැගෙනහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ත්‍රිකුණාමලය හා මුලතිව් දිස්ත්‍රික්කයන්හී ධීවර අධ්‍යක්‍ෂකවරුන්, ධීවර පරීක්‍ෂකවරුන් සහ ධීවර සමිති නියෝජනය කරමින් නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
මෙවැනි වැඩසටහන් තුළින් ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය ආයතන සහ ධීවර ප්‍රජාව අතර සම්බන්ධීකරණය හා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම මෙන්ම, සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීම හා සංරක්ෂණය පිළිබඳ ධීවර ප්‍රජාවගේ දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා ද වැදගත් දායකත්වයක් ලබාදෙයි.













