නාවික හමුදාධිපති දකුණු නාවික විධානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි
දකුණු නාවික විධානයේ දෙදින (02) නිරීක්ෂණ චාරිකාවක් සඳහා අද දින (2026 ඔක්තෝබර් 19) සහභාගී වූ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු, එම විධානයේ මෙහෙයුම්, පරිපාලන, සංවර්ධන සහ සුභසාධන ව්යාපෘති නිරීක්ෂණය කර, ජාතික ආරක්ෂාව හා ජාතික සංවර්ධනය වෙනුවෙන් නාවික හමුදාවේ කාර්යභාරය හා මෙහෙයුම් අභිප්රාය පිළිබඳව එම විධානයේ නිලධාරීන් සහ නාවිකයන් වෙත අවශ්ය උපදෙස් ලබා දෙනු ලැබීය.
ඒ අනුව, දකුණු නාවික විධානය වෙත පැමිණි නාවික හමුදාධිපති, එම විධානයේ ආඥාපති රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරා විසින් පිළිගැනීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති විසින් අධ්යක්ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් රොහාන් ජෝෂප්, අධ්යක්ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී ගුණසිංහ, අධ්යක්ෂ ජෙනරාල් අයවැය හා මුදල් රියර් අද්මිරාල් අනුරුද්ධ කරුණාතිලක සහ අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් චමින්ද කරුණාසේන ඇතුළු ජ්යෙෂ්ඨ නිලධාරීන් සමඟ දකුණු නාවික විධානයේ ආයතන හා අනුඛණ්ඩ චාරිකා වාරය සිදුකරනු ලැබීය.
දකුණු නාවික විධාන නිරීක්ෂණ චාරිකාව ආරම්භ කරමින්, ශ්රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයට අනියුක්ත කිරිදිඔය නාවික අනුඛණ්ඩයේ ස්ථාපිත කෘෂිකාර්මික ව්යාපෘතිය, ‘සිත් සවිය’ වැඩිදුර ප්රතිකාර මධ්යස්ථානය සහ නාවික නිවාඩු මධ්යස්ථානය නිරීක්ෂණය සඳහා සහභාගි වූ නාවික හමුදාධිපති, එම ස්ථාන මඟින් සිදුකෙරෙණ පරිපාලන හා සුබසාධන කටයුතු කාර්යක්ෂමව සිදුකිරීම සඳහා උපදෙස් දෙනු ලැබීය. අනතුරුව, අමදූව නාවික උප අනුඛණ්ඩයේ ස්ථාපිත රේඩාර් මධ්යස්ථානය මඟින් සිදුකෙරෙණ ආවේක්ෂණ කටයුතු නිරීක්ෂණය කල නාවික හමුදාධිපති, අනුඛණ්ඩයේ අභිනවයෙන් ස්ථාපනය කල සූර්ය විදුලිබල පද්ධතිය එහිදී, විවෘත කරනු ලැබීය.
මෙම නිරීක්ෂණ චාරිකාවේදි, කිරින්ද මාලිමා කිමිදුම් මධ්යස්ථානය නිරීක්ෂණය සඳහා සහභාගි වූ නාවික හමුදාධිපති, ප්රදේශයේ කිමිදුම් සංචාරක ප්රවර්ධනය වෙනුවෙන් සංචාරක ආකර්ෂණය ඉහල නැංවෙන පරිදි එම මධ්යස්ථානයේ වැඩසටහන් නව මුහුණුවරකින් සංවිධානය කිරීමට අවශ්ය උපදෙස් ලබා දෙන ලදි. මෙම චාරිකාවේදී නාවික හමුදාධිපති විසින් හම්බන්තොට, ශ්රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයේ ස්ථාපනය කෙරෙණ සූර්ය විදුලිබල පද්ධතියේ සහ වාහන නැංවීමේ හා බැස්සවීමේ මධ්යස්ථානයේ ප්රගතිය නිරීක්ෂණය කෙරිණි. අනතුරුව, සමුද්රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ උප මධ්යස්ථානයේ මෙහෙයුම් කටයුතු නිරීක්ෂණය කර, එම මෙහෙයුම් කටයුතු උසස් අන්දමින් සිදුකිරීම සඳහා උපදෙස් දෙනු ලැබීය.
එමෙන්ම, තංගල්ල, ශ්රී ලංකා නාවික නෞකා රුහුණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාව සඳහා එක්වූ නාවික හමුදාධිපති, එම ආයතනය මඟින් සිදුකෙරෙණ මෙහෙයුම්, පරිපාලන, සුබසාධන සහ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කරනු ලැබීය. එහිදී, නාවික නිවාඩු මධ්යස්ථානය සහ සේවාවනිතා වෙළඳසැල් සංකීර්ණය මඟින් නාවික හමුදා පුද්ගලයන් වෙත ලබාදෙනු ලබන සුබසාධන පහසුකම් සහ තංගල්ල ධීවර වරාය ආශ්රිතව නාවික හමුදාව මඟින් සිදුකෙරෙන මෙහෙයුම් කටයුතු නිරීක්ෂණය කල නාවික හමුදාධිපති, නාවික හමුදා තාක්ෂනික හා ශිල්පීය දායකත්වයෙන් තංගල්ල බන්ධනාගාරයේ සිදුකෙරෙණ අළුත්වැඩියා හා සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීමද සිදුකෙරිණි.
අනතුරුව, නාවික හමුදාධිපති ශ්රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනය යටතේ ක්රියාත්මක වන වෙළඳ නෞකා ආරක්ෂක කණ්ඩායම් සඳහා විදේශීය පෞද්ගලික සමුද්රීය ආරක්ෂක සමාගම් වෙත පහසුකම් සැපයීමේ මෙහෙයුම් කටයුතු (Onboard Security Team - OBST) වෙනුවෙන්, එම සමාගම් සතු අවි හා උපාංග ගබඩා කරනු ලබන, ගාල්ල පෙට්ටිගලවත්ත අවි ගබඩා සංකීර්ණය නිරීක්ෂණය සඳහා ජ්යෙෂ්ඨ නිලධාරීන් සමඟ සහභාගි විය. එහිදී, එහි මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස සිදු කිරීමට අවශ්ය උපදෙස් ලබාදෙනු ලැබීය.
තවද, නාවික හමුදාධිපතිගේ මෙම දකුණු නාවික විධාන නිරීක්ෂණ චාරිකාව සඳහා දකුණු නාවික විධානයේ දෙපාර්තමේන්තු ප්රධානීන් සහ අණදෙන නිලධාරීන් ඇතුළු ජ්යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරින් පිරිසක්ද එක් වූහ.













