නාවික හමුදාව විසින් ජාත්‍යන්තර නෞකා හා වරාය පහසුකම් ආරක්‍ෂක (ISPS) අභ්‍යාසයක් ගාල්ල වරාය පරිශ්‍රයේදී සාර්ථකව පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර නෞකා හා වරාය පහසුකම් ආරක්‍ෂක අභ්‍යාසයක්, අද දින (2026 ඔක්තෝබර් 08) ගාල්ල වරාය පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විය.
ඒ අනුව, මෙම අභ්‍යාසයේදී අනවසර පුද්ගලයින් නීති විරෝධී ලෙස වරාය පරිශ්‍රයට ඇතුළුවීම වැළැක්වීම, එවැනි සිදුවීම් හඳුනාගැනීම හා පාලනය කිරීම මෙන්ම රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලී හා න්‍යෂ්ටික (CBRN) උපද්‍රව හඳුනාගැනීම සහ ත්‍රස්තවාදී ප්‍රහාරයකදී ඒ සඳහා කඩිනම් හා සම්බන්ධීකරණය වූ ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කරන ලදී. එමෙන්ම, අදාළ ආරක්ෂක ක්‍රියාමාර්ග සහ ප්‍රතිචාර ක්‍රියාපටිපාටි පිළිබඳ න්‍යායාත්මක දැනුවත් කිරීමේ වැඩසටහන් ද පැවැත්විණි.
මෙම අභ්‍යාසය මඟින් ගාල්ල වරාය ආරක්ෂාවට සම්බන්ධ සියලු පාර්ශ්වයන් අතර අන්තර් ආයතනික සම්බන්ධීකරණය, හදිසි අවස්ථාවකදී කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව සහ ආරක්ෂක ක්‍රියාමාර්ගවල ප්‍රායෝගික ක්‍රියාත්මකභාවය තවදුරටත් ශක්තිමත් කිරීමට හැකි වූ අතර, ජාත්‍යන්තර නෞකා හා වරාය පහසුකම් ආරක්ෂක සංග්‍රහයේ (ISPS Code) අරමුණු හා අවශ්‍යතාවන්ට අනුකූලව ගාල්ල වරායේ ආරක්ෂක සූදානම පවත්වාගෙන යාම සඳහා වැදගත් පියවරක් ලෙස මෙම අභ්‍යාසය සැලකිය හැකිය.
තවද, දකුණු නාවික විධානයට අයත් ගිනි නිවීමේ ඒකකය, රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලී හා න්‍යෂ්ටික (CBRN) ඒකකය සහ ශ්‍රී ලංකා නාවික හමුදා බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ අංශය විසින් අභ්‍යාසය සඳහා සක්‍රීය උපදේශක දායකත්වය සහ සහභාගීත්වය ලබා දුන් අතර, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලිසියේ වරාය පොලිස් ඒකකය ද මෙම අභ්‍යාසය සඳහා සහභාගී විය.













