EVENT NEWS › 2026

නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් තන්තිරිමලේදී ජනතා අයිතියට

29 Oct 2026

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තන්තිරිමලේ කිව්ලේකඩ ප්‍රදේශයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) ජනතා අයිතියට පත්කිරීම, අද දින (2026 ඔක්තෝබර් 29) සිදුකරනු ලැබීය.

වකුගඩු රෝගය බහුලව වාර්තාවන මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තන්තිරිමලේ කිව්ලේකඩ ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු හා ආරක්ෂිත පානීය ජලය ලබාගැනීම වසර ගණනාවක් පුරා නොවිසඳී පැවති ගැටළුවක් විය.

ඒ අනුව, එම ගැටළුවට පිළියමක් ලෙස, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ “Serve With Smile” යන සංවිධානයේ සභාපති ගාමිණී කළුබෝවිල මහතාගේ මූල්‍ය දායකත්වයෙන්, ස්ථාපිත කෙරුණු මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය මඟින්, කිව්ලේකඩ ප්‍රදේශයේ ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

තවද, මෙම ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ස්ථාපනය කිරීමත් සමඟ, නාවික හමුදාවේ දායකත්වයෙන් ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 1,164ක් ජනතා අයිතියට පත්කර ඇත.

Accessibility Tools