EVENT NEWS › 2026

ත්‍රීකුණාමලය නාවික තටාකාංගණයෙහි බෙල්ෆ්‍රි පිවිසුම් දොරටුවෙහි නැවත ස්ථාපිත කෙරුණු කුළුණ විවෘත කෙරේ

31 Oct 2026

ත්‍රීකුණාමලය නාවික තටාකාංගණය තුල ඇති ඓතිහාසික වටිනාකමකින් යුත් බෙල්ෆ්‍රි පිවිසුම් දොරටුවෙහි (Belfry Gate) නැවත ඉදිකෙරුණු වම්පස කුළුණ විවෘත කිරීම, අද දින (2026 ඔක්තෝබර් 31) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ත්‍රිකුණාමලය නාවික තටාකාංගණයේ වඩාත්ම සුවිශේෂී වාස්තු විද්‍යාත්මක සලකුණක් වන මෙම 'බෙල්ෆ්‍රි' (Belfry) දොරටුව, 1821 දී බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව විසින් රාජකීය නාවික තටාකාංගණයේ ප්‍රධාන දොරටුව කුළුණු දෙකකින් සමන්විත වන ලෙස ඉදිකර ඇත.

"Belfry" (බෙල්ෆ්‍රි) යන නාමය, සීනුවක් තැබීම සඳහා නිර්මාණය කරන ලද කුළුණක් හෝ ව්‍යුහයක් හැඳින්වීමට භාවිතා වේ. 19 වන සියවසේ නාවික පරිසරය තුළ, කාලය දැනගැනීමට, දෛනික කටයුතු විධිමත් කිරීමට සහ සංඥා හුවමාරු කර ගැනීමට සීනු වැදගත් මෙවලමක් වී ඇති අතර , ත්‍රිකුණාමලයේ පිහිටි මෙම 'බෙල්ෆ්‍රි' ව්‍යුහය, සියවස් දෙකකට ආසන්න කාලයක් පුරා නාවිකයන්ට සහ තටාකාංගණ කාර්ය මණ්ඩලයට කාලය පෙන්වා දෙන ස්ථානයක් ලෙස ක්‍රියා කර ඇත.

කාලයත් සමඟ, මුල් ද්විත්ව කුළුණු දෙකෙන් එකක් කඩා ඉවත් කර ඇති අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පෙර පැවති දෙවන කුළුණ ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු මුල් ව්‍යුහයේ තිබූ වාස්තු විද්‍යාත්මක සැලසුම, සමානුපාතයන් සහ සුවිශේෂී ලක්ෂණ ඉතා සූක්ෂම අධ්‍යනය කිරීමෙන් අනතුරුව 'බෙල්ෆ්‍රි පිවිසුම් දොරටුවෙහි' (Belfry Gate) ඓතිහාසික ද්විකුළුණු ස්වභාවය මෙලෙස යළි ස්ථාපිත කරනු ලැබීය. මෙය හුදෙක් වාස්තු විද්‍යාත්මක අංගයක් පමණක් නොව, නාවික විනය, කාලය, සම්ප්‍රදාය සහ අඛණ්ඩතාව පිළිබඳ ජීවමාන සංකේතයක් ලෙස ද ක්‍රියා කරන අතර, එමඟින් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය උරුමයේ වැදගත් කොටසක් අනාගත පරපුර වෙනුවෙන් සංරක්‍ෂණය කර තැබීමට ද දායකත්වයක් ගෙනදෙනු ඇත.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති ලෙස වැඩභාර ගැනීමට නියමිත රියර් අද්මිරාල් වරුණ ෆර්ඩිනැන්ඩස්, ධජ නිලධාරි නාවික දියත් විධානය රියර් අද්මිරාල් හරිත ජයදේව, ධජ නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික තටාකාංගණයේ අණදෙන නිලධාරි කපිතාන් සමන් රත්නායක ඇතුළු නැගෙනහිර නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහභාගි වූහ.

Accessibility Tools