ලෝක ළමා දිනය නිමිත්තෙන් ‘විජයබාහු’ සහ ‘ගජබාහු’ නෞකාවන්හිදී විශේෂ ළමා දින වැඩසටහනක්
ඔක්තෝබර් මස 01 දිනට යෙදී ඇති ලෝක ළමාදිනය නිමිත්තෙන්, සිරස රූපවාහිණී ආයතනය මඟින් සංවිධානය කල විශේෂ ළමා දින වැඩසටහනක් 2026 ඔක්තෝබර් මස 03 වැනි දින කොළඹ වරාය පරිශ්‍රයේ ඇති ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු සහ ගජබාහු යන නෞකා මතදී සාර්ථකව පැවැත් වුණි.
2026 වර්ෂයේ ලෝක ළමා දිනය වෙනුවෙන් ‘මනසින් සවිමත් - දරුවන් පොහොසත්’ යන තේමාව ජාතික තේමාව ලෙස නම්කර ඇත. ඒ අනුව, ‘විජයබාහු’ සහ ‘ගජබාහු’ නෞකා මත පැවති ලෝක ළමා දින වැඩසටහන තුළදී, ළමුන් පනස් දෙනෙකු (50) සහ ඔවුන්ගේ භාරකරුවන් පනස් දෙනෙකු (50) හට එම නෞකා නැරඹීම සඳහා නාවික හමුදාව පහසුකම් සලසන ලදි. එහිදී එම නෞකාවන්ගේ ක්‍රියාකාරීත්වය සහ කාර්යභාරය පිළිබඳව ඔවුන් දැනුවත් කල අතර, ගිනි නිවීම සහ ආපදා මර්ධනය සම්බන්ධව ප්‍රායෝගික අභ්‍යාසයක් ද පැවැත්විණි.
තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා ඇතුළු නාවික හමුදා පුද්ගලයින් පිරිසක්ද සහභාගි විය













