EVENT NEWS › 2026

නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා දිවයිනෙන් පිටත්වෙයි

29 Oct 2026

නිල සංචාරයක් සඳහා පසුගියදා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් ‘INS TIR’, ‘INS SUJATA’ සහ ‘ICGS SARATHI’ යන නෞකා, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, බටහිර මුහුදේ පැවති ඒකාබද්ධ අභ්‍යාසයකින් අනතුරුව, අද දින උදෑසන (2026 ඔක්තෝබර් 29) දිවයිනෙන් පිටත් විය.

‍මෙම නෞකා දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල, එහි නැව් මුළුවන් සහ පුහුණුවන නිලධාරීන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද පුහුණු හුවමාරු, නෞකා මෙහෙයුම් ක්‍රියාකාරීත්වය නිරීක්‍ෂණ සංචාර, ක්‍රීඩා වැඩසටහන්, වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සහ ඒකාබද්ධ සංගීත ප්‍රසංග වැඩසටහනක් සඳහා සහභාගීවූ අතර, දිවයිනේ වැදගත් සංචාරක ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමද සිදුකරනු ලැබීය.

එමෙන්ම, අද උදෑසන කොළඹ වරායට ඔබ්බෙන් වූ බටහිර මුහුදේදී ඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව ඒකාබද්ධ අභ්‍යාසයක් පවත්වන ලද අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්‍ර සහ පී 492 වේග ප්‍රහාරක යාත්‍රාව එක්විය. එම අභ්‍යාසයේදී නෞකා අතර සංඥා හුවමාරු කර ගැනීම, නෞකා සංග්‍රාමික පෙළහැ‍ඩයන් ඔස්සේ ගමන් කිරීම හා හැසිරවීම ඇතුළු අභ්‍යාස සාර්ථකව සිදුකර, නෞකා අතර ආචාර සමාචාර සිදුකිරීමේ අභ්‍යාසයෙන් අනතුරුව, ඒකාබද්ධ අභ්‍යාසය සාර්ථකව අවසන් විය.

තවද, මෙවැනි නිල සංචාර සහ ඒකාබද්ධ අභ්‍යාස මඟින්, දෙරටේ නාවික හමුදා අතර හුවමාරු වන නව වෘත්තීය දැනුම, අත්දැකීම් හා ගොඩනැගෙන සහයෝගීත්වය සහ අන්තර් ක්‍රියාකාරිත්වය තුලින්, ඉන්දීය සාගර කළාපයේ නව ප්‍රවණතා සහ පොදු සමුද්‍රීය අභියෝග වෙත සාර්ථකව සාමූහිකව ප්‍රතිචාර දැක්වීමට දෙරටේ නාවික හමුදා වෙත හැකියාව ලැබෙනු ඇත.

Accessibility Tools