EVENT NEWS › 2026

විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් ජල ශාස්ත්‍රය සහ සමුද්‍රීය භූ අවකාශ තොරතුරු පිළිබඳ පුහුණු වැඩසටහනක්

28 Oct 2026

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් වෙනුවෙන් ජල ශාස්ත්‍රය සහ සමුද්‍රීය භූ අවකාශය පිළිබඳ පුහුණු වැඩසටහනක්,කොළඹ ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලයේදී 2026 ඔක්තෝබර් මස 27 වැනි දින පවත්වණු ලැබීය.

ඒ අනුව, වයඹ විශ්වවිද්‍යාලයේ ජලජීවී වගා සහ ධීවර අධ්‍යයන අංශයේ සිසුන් දහහතර දෙනෙකු (14) සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ සමුද්‍රීය ඉංජිනේරු හා නාවික ගෘහ නිර්මාණ ඉංජිනේරු අධ්‍යයන අංශයේ සිසුන් සිව් දෙනෙකු (04) ඇතුළු සිසුන් දහඅට දෙනෙකු (18) මෙම පුහුණු වැඩසටහන සඳහා සහභාගී වු අතර, ජල ශාස්ත්‍රීය මූලික සංකල්ප, සුරක්‍ෂිත නාවික ගමනාගමනය, සමුද්‍රීය ආරක්‍ෂාව, වෙරළබඩ සංවර්ධනය සහ සාගර පර්යේෂණ සඳහා ජල ශාස්ත්‍රීය ක්‍ෂේත්‍රයේ දායකත්වය පිළිබඳව එහිදී දැනුවත් කිරීමේ දේශන පැවැත්විණි.

එමෙන්ම, ජලවිද්‍යාත්මක මිනුම් කටයුතු සිදු කිරීම සහ සමුද්‍රීය භූගෝලීය තොරතුරු සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය ක්‍ෂේත්‍රයේ කාර්යභාරය පිළිබඳව ද මෙහිදී සිසුන් දැනුවත් කෙරුණු අතර, සමුද්‍රීය භූ අවකාශීය දත්ත, යටිතල පහසුකම්, ජල ශාස්ත්‍රීය දත්ත කළමනාකරණ මධ්‍යස්ථානය සහ සිතියම්කරණ යන අංශ පිළිබඳව ද අවබෝධයක් ලබාදීමට කටයුතු කෙරිණි.

තවද, මෙම පුහුණු වැඩසටහන තුළින් ධීවර කර්මාන්තය, සමුද්‍රීය ඉංජිනේරු ක්‍ෂේත්‍රය සහ සාගර ආශ්‍රිත පර්යේෂණ සඳහා ජල ශාස්ත්‍රීය විද්‍යාවේ ප්‍රායෝගික භාවිතයන් පිළිබඳ දැනුම පුළුල් කර ගැනීමට මෙන්ම, අධ්‍යයන ආයතන හා ජල ශාස්ත්‍රීය ක්‍ෂේත්‍රය අතර දැනුම හුවමාරුව සහ සහයෝගීතාව වර්ධනය කරගැනීමට ද අවස්ථාව උදාවිය.

Accessibility Tools