වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලය වෙතින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වෙත උපහාර දක්වයි
වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාධිපති ලෙස පත්වීම වෙනුවෙන්, එම විද්‍යාලයේ ආදි සිසුන්, ගුරු බවතුන් සහ සිසු දරුවන් විසින් සංවිධානය කෙරුණු උපහාර දැක්වීමක් අද දින (2026 සැප්තැම්බර් 09) එම විද්‍යාල පරිශ්‍රයේහිදී උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය.
ශාන්ත ජෝසප් වාස් විද්‍යාලය වෙත, එම විද්‍යාලීය විදුහල්පති ගරු ප්‍රියංජීව ගුණරත්න පියතුමා ඇතුළු ගුරු මණ්ඩලය, ආදි සිසුන් සහ සිසු දරුවන් විසින් නාවික හමුදාධිපති ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව, ශාන්ත ජෝසප් වාස් අනුරුව වෙත නාවික හමුදාධිපති විසින් පුෂ්පෝපහාර පුද කළේය. අනතුරුව විද්‍යාලීය ශිෂ්‍යභට ඛණ්ඩය විසින් නාවික හමුදාධිපති වෙත උත්තමාචාර පිරිණැමීම සිදු කර, විද්‍යාලයීය වාදක කණ්ඩයේ විචිත්‍රවත් සංගීතය මධ්‍යයේ නාවික හමුදාධිපති උපහාර පිරිනැමීමේ ස්ථානය වෙත කැඳවාගෙන යාම සිදුකෙරිණි. එහිදී, නාවික හමුදාධිපති වෙත දේවාශිර්වාද ප්‍රාර්ථනා කර, උපහාර ගීත ගායනා කිරීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති පිළිගැනීමේ කතාව විද්‍යාලීය විදුහල්පති ගරු ප්‍රියංජීව ගුණරත්න පියතුමන් විසින් සිදු කළේය. එමෙන්ම, විද්‍යාලීයය ආදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් මල්රාජ් බලපිටිය මහතා විසින්ද, හිටපු ගුරු බවතුන් වෙනුවෙන් ශිමාලි ප්‍රනාන්දු මහත්මිය විසින් සහ ශාන්ත ජෝසප් වාස් ප්‍රාථමික අංශයේ විදුහල්පති ගරු අමල් ප්‍රසන්න පෙරේරා පියතුමන් විසින් සිදුකෙරුණු අදහස් දැක්වීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති විසින් විද්‍යාලයේ සිසු දරුවන් ඇතුළු උත්සව සභාව ඇමතීම සිදු කළේය.
එහිදී, අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාධිපති ලෙස පත්වීම වෙනුවෙන් උපහාර දැක්වීම සඳහා ඉතාමත් අභිමානවත් උපහාර දැක්වීමේ උළෙලක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් සිය කෘතවේදීත්වය පලකරමින්, ශාන්ත ජෝසප් වාස් පාසල් මාතාව වෙත නැවත පැමිණීම නිවසට පැමිණීමක් මෙන් දැනුණු බව ප්‍රකාශ කළේය. සිසු දරුවන් අමතමින්, බියෙන් තොරව සිහින දකින්නැයි ඉල්ලා සිටි ඔහු, සැබෑ චරිතය ගොඩනැගෙන්නේ තේජාන්විත අවස්ථාවන්හිදී නොව, අවංකභාවය, විනය, නිහතමානිකම සහ අසාර්ථක වීමෙන් පසු නැවත සාර්ථකවීම සඳහා උත්සාහ කිරීමට දිරිමත්වීම වැනි අප්‍රමාණ සාමාන්‍ය තීරණ හරහා බව දරුවන් වෙත අවධාරණය කළේය.
රැකියා සඳහා පමණක් නොව, ගැටළු විසඳීමට සහ මව්බිමට වටිනාකමක් එක් කිරීමට, "Domino Pro Patria" යන ශාන්ත ජෝසප් වාස් උදාර පාසල් ආදර්ශ පාඨය අනුව ජීවත් වන ලෙස සිසුන්ගෙන් ඉල්ලා සිටි නාවික හමුදාධිපති, මත්ද්‍රව්‍ය උවදුර අනාගත පරපුර වෙත විශාල තර්ජනයක් එල්ල කරන බවත්, එම උවදුරට හසුවීමෙන් වලකින ලෙස සහ මත්ද්‍රව්‍ය භාවිතය සඳහා සිදුකෙරෙණ පළමු ආරාධනය ප්‍රතික්ෂේප කරන ලෙස අවධාරණය කරමින්, ඇබ්බැහි වූ මිතුරන් සිටීනම්, ඉන් මිදීම සඳහා එම මිතුරන්හට උපකාර කරන ලෙසත් සිසු දරුවන් වෙතින් ඉල්ලා සිටියේය.
සිසු දරුවන්ගේ දෙමාපියන් අමතමින් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, තම දරුවන්ගේ අද්විතීය කුසලතාවන් හඳුනාගනිමින් එම කුසලතා පෝෂණය කරන ලෙසත්, ඔවුන්ගේ වැරදි හා අතපසුවීම් තුලින් ඉගෙන ගැනීමට ඔවුන්ට අවස්ථාව උදාකර දෙන ලෙසත් ප්‍රකාශ කළේය. එක වචනයක ස්ථාවරව සිටින ලෙසත්, අසාර්ථක වීමට බිය නොවන ලෙස සහ තමන් පැමිණියේ කුමන තත්වයක සිටදැයි කිසි විටෙකත් අමතක නොකරන ලෙස අවධාරණය කළ නාවික හමුදාධිපති, ජෝසප් වාස් දරුවන්ගේ අද තේරීම දේශයේ හෙට දවස හැඩගස්වන බවත්, ඔවුන් සැමවිටම ආඩම්බරයෙන් හා අරමුණකින් තම මව්බිමට සේවය කිරීමට සූදානම් විය යුතු බවත් පැවසීය.
තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් විද්‍යාල පරිශ්‍රයේ සඳුන් පැලයක් රෝපණය කෙරුණු අතර, එම උපහාර දැක්වීමේ අවස්ථාව සඳහා වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලය මඟින් බිහිකල හිටපු හමුදා නිලධාරීන්, දැනට සේවයේ නියුතු නාවික හමුදාව ඇතුළු සහෝදර හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියහ.













