EVENT NEWS 2026

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ‘INS UDAYGIRI’ යුද නෞකාව දිවයිනෙන් පිටත්වෙයි

11 Sep 2026

නිල සංචාරයක් සඳහා 2026 සැප්තැම්බර් මස 08 වැනි දින දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS UDAYGIRI’ යුද නෞකාව, නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, අද දින (2026 සැප්තැම්බර් 11) දිවයිනෙන් පිටත් වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ‘INS UDAYGIRI’ නෞකාව වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

‘INS UDAYGIRI’ නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ එහි කාර්යය මණ්ඩලය, දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය හා සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලැබූ අත්පන්දු තරඟාවලියක්, වෙරළ පිරිසිදු කිරී‍මේ වැඩසටහනක් සහ නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය විසින් සංවිධානය කල නෞකා වෙත ප්‍රවිශ්ඨවීම, පරික්‍ෂා කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේද සම්බන්ධව පුහුණු අභ්‍යාසයක් සඳහා සහභාගි වූහ.

එමෙන්ම, ‘INS UDAYGIRI’ නෞකාව මඟින් රැගෙන ආ නෞකා අමතර කොටස් ඇතුළු සැපයුම් තොගයක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාදීමද මෙම සංචාරයේදී සිදු කෙරුණු අතර, නෞකාවේ කාර්යය මණ්ඩලය කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා ද සහභාගි වූහ.

තවද, මෙවැනි නිල සංචාර මඟින් හුවමාරු කරගනු ලබන නව දැනුම, අත්දැකීම් හා වර්ධනය වන සහයෝගීත්වය සහ අන්තර් ක්‍රියාකාරිත්වය තුලින්, සාගර කළාපයේ නව ප්‍රවණතා සහ අභියෝග සඳහා සාර්ථකව සාමූහිකව ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකියාව ලැබෙනු ඇත.

Accessibility Tools