EVENT NEWS › 2026

නාවික හමුදාධිපතිගේ උතුරු නාවික විධාන නිල සංචාරය සාර්ථකව නිමාවට පත්වෙයි

24 Sep 2026

උතුරු නාවික විධානයේ දෙදින නිල සංචාරයක නිරත වූ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, උතුරු නාවික විධාන මූලස්ථානය සහ එම විධානයට අයත් ආයතනයන්ගේ මෙහෙයුම්, පරිපාලන, සංවර්ධන සහ සුභසාධන ව්‍යාපෘති නිරීක්‍ෂණය කර, නාවික හමුදාවේ මෙහෙයුම් අභිප්‍රාය පිළිබඳව එම විධානයේ නිලධාරීන් සහ නාවිකයන් දැනුවත් කිරීමෙන් අනතුරුව, 2026 සැප්තැම්බර් මස 23 වැනි දින නිල සංචාරය සාර්ථකව නිමාවට පත් විය.

ඒ අනුව, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන සමඟ අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල රියර් අද්මිරාල් ‍සංජීව ප්‍රේමරත්න, අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවීන්ද්‍ර ගුණසිංහ, අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් හා සේවා රියර් අද්මිරාල් අචල ද සිල්වා, ආඥාපති නාවික පාබල රියර් අද්මිරාල් කුසල් දිසානායක සහ විධානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමඟ යාපනය මන්ඩතිව් දූපතේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනය මඟින් සිදුකරනු ලබන ආරක්‍ෂක රාජකාරීන් සහ මෙහෙයුම් කටයුතු නිරීක්‍ෂණය සඳහා 2026 සැප්තැම්බර් මස 23 වැනි දින සහභාගි වූ නාවික හමුදාධිපති, මන්ඩතිව් දූපතේ ආරක්‍ෂාව සහ එම මුහුදු තීරයේ ආරක්‍ෂාව සඳහා මෙන්ම, ඒ ආශ්‍රිත ධීවර ප්‍රජාව ඇතුළු ජනතාවගේ එදිනෙදා කටයුතු සඳහා සිදුකරන කාර්යභාරය වඩාත් කාර්යක්‍ෂමව සිදු කිරීමට උපදෙස් ලබා දෙනු ලැබීය. අනතුරුව , යාපනය කයිට්ස් දූපතේ ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනයේදි නිලධාරීන් සහ නාවිකයන් ඇමතූ නාවික හමුදාධිපති, උතුරේ දූපත් ආශ්‍රිත ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් සහ ඔවුන්ගේ සුභසාධනය වෙනුවෙන් නාවික හමුදාවට පැවරී ඇති වගකීම ඉටු කිරීම සඳහා දායකවන ලෙස අවධාරණය කෙරිණි.

‍එමෙන්ම, මෙම නිල සංචාරයේදී යාපනය පුංගුඩුතිව් දූපතේ සහ එම ප්‍රදේශය ආශ්‍රිත මහජනතාවගේ ආරක්‍ෂාව හා සුභසාධනය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨයිම්බර ආයතනය මඟින් නාවික ජැටිය සහ කුරිකඩ්ඩුවාන් ජැටිය ආශ්‍රිතව සිදුකරනු ලබන මෙහෙයුම් හා සංවර්ධන කටයුතු නිරීක්‍ෂණය සඳහා සහභාගි වූ නාවික හමුදාධිපති ඉන් අනතුරුව යාපනය කරෙයිනගර් හී පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනයේ සංචාරය සඳහා එක්විය. එහිදී, එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුවන නීති විරෝධි කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව සිදුකරනු ලබන මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදුකිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදුන් නාවික හමුදාධිපති, නාවික හමුදාව මඟින් එළාර ආයතනයේ ඉදිකරනු ලබන නව ජැටියෙහි ඉදිකිරීම් ප්‍රගතිය නිරීක්‍ෂණය කිරීමද සිදුකෙරිණි.

තවද, උතුරේ දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ ආයතන සහ යාත්‍රා වෙත අනියුක්ත නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධන පහසුකම් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබා දීමද මෙම සංචාරයේදි නාවික හමුදාධිපති විසින් සිදුකෙරුණි. විශේෂයෙන්, දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම, දූපත් ආශ්‍රිත ප්‍රජාව වෙත සහ රාජ්‍ය ආයතන වෙත අවශ්‍ය සහය ලබා දීම මෙන්ම, ජාතික ආරක්‍ෂාවට සමඟාමීව ජාතික සංවර්ධනය වෙනුවෙන් නාවික හමුදාව සිදුකරනු ලබන පුළුල් කාර්යභාරය වෙනුවෙන් නාවික හමුදා පුද්ගලයන්ගේ අඛණ්ඩ කැපවීම නාවික හමුදාව අපේක්‍ෂා කරන බව, නිලධාරීන් සහ නාවිකයන් අමතමින් නාවික හමුදාධිපති එහිදී අවධාරණය කරනු ලැබීය.

Accessibility Tools