තලෙයිමන්නාරම මුහුදේ වැලිපරයක අතරමංව සිටි පුද්ගලයෙකු නාවික හමුදාව නිරුපද්‍රිතව මුදාගනියි
ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෙයිමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයකදී, එම මුහුදු ප්‍රදේශයේ වැලිපරයක අතරමංව සිටි පුද්ගලයෙකු අද දින (2026 සැප්තැම්බර් 11) නිරුපද්‍රිතව මුදා ගැනීමෙන් පසු, එම පුද්ගලයා වෙත අවශ්‍ය මානුෂීය ආධාර සැලසීමට කටයුතු කෙරිණි.
උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය මඟින්, සිදුකළ මෙම මුර සංචාරයේදී, එම මුහුදු ප්‍රදේශයේ වැලිපරයක අතරමංව සිටි පුද්ගලයෙකු නිරීක්ෂණය වී සිදුකළ වැඩිදුර පරීක්‍ෂාවේදී, එම පුද්ගලයා දකුණු ඉන්දියාවේ සිට යාත්‍රාවකින් පැමිණ මෙලෙස අතරමංව ඇති වයස අවුරුදු දහහතක් (17) පුද්ගලයෙකු බව අනාවරණය විය.
ඒ අනුව, නාවික හමුදාව විසින් ඔහු තම්මැන්නා ආයතනය වෙත රැගෙනවිත්, අවශ්‍ය පානීය ජලය සහ ආහාර ඇතුළු මානුෂික ආධාර ලබා දීමට කටයුතු කෙරුණි.
තවද, මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය හා පරිපාලන කටයුතු සඳහා නාවික හමුදාව විසින් මුදාගත් පුද්ගලයා තලෙයිමන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.













